එක්සත් ජනපද මැදවාර මැතිවරණයේ බලපෑම විදේශ ප්‍රතිපත්තියට සහ ලෝක දේශපාලනයට.

0
12

එක්සත් ජනපද මැදවාර මැතිවරණයේ (US Midterm Elections) ප්‍රතිඵල ඇමෙරිකානු දේශසීමාවන්ගෙන් ඔබ්බට ද දැඩි බලපෑමක් එල්ල කළ හැකි මට්ටමක පවතී. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගතවූ වසර දෙකකට ආසන්න කාලය පුරාවට දශක ගණනාවක් පැවැති ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඇමෙරිකාවේ මිත්‍ර පාක්ෂිකයින් මෙන්ම ප්‍රතිවාදීන් ද දැඩි නොසන්සුන් භාවයකට පත්ව සිටියේය. ඒ අනුව, මෙම මැතිවරණ පරාජය හමුවේ ජනාධිපති ට්‍රම්ප්ගේ ඉදිරි විදේශීය ක්‍රියාමාර්ග කෙබඳු හැඩයක් ගනු ඇත්දැයි ලෝක නායකයෝ දැඩි අවධානයෙන් පසුවෙති.

ඉරානය, ඊශ්‍රායලය සහ යුක්‍රේනය යන රටවලට මෙම මැතිවරණ ප්‍රතිඵලය කොංග්‍රස් මණ්ඩලයේ බලය හිමිකර ගන්නේ කවුරුන්ද යන්නට පමණක් සීමා නොවූ විශාල බලපෑමක් ඇති කරයි. ට්‍රම්ප් තෙහෙරානය සමඟ ගිවිසුමකට එළඹෙන්නේද නැතහොත් තවදුරටත් යුද්ධයකට යන්නේද, ඊශ්‍රායලය වෙනුවෙන් වොෂින්ටනය දක්වන දීර්ඝකාලීන සහයෝගය කෙතරම් දුරට දුර්වල වේද, සහ රුසියාව සමඟ පවතින යුද්ධය අවසන් කිරීම සඳහා කොන්දේසි භාරගන්නා ලෙස ඔහු කියෙව් (Kyiv) වෙත කෙතරම් බලපෑම් කරනු ඇත්ද යන්න මෙමගින් තීරණය වනු ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිවලට අභියෝග කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයට නව දේශපාලනික මෙවලම් ලැබෙනු ඇති නමුත්, විදේශයන්හි ක්‍රියාත්මක වීමට ජනාධිපතිවරයාට තවමත් සැලකිය යුතු බලයක් හිමිව තිබේ. එමගින් ලෝක නායකයන් හමුවේ මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ මෙම මැතිවරණ පරාජය හමුවේ ඔහු සම්මුතිවලට එළඹීමට නම්‍යශීලී වේද, නැතහොත් තම මතයේම තදින් සිටිමින් ක්‍රියා කරනු ඇත්ද යන්නයි.

ඉරානය ජයග්‍රාහී හැඟීමෙන්, නමුත් තවමත් සාමය ගැන විශ්වාසයක් නෑ

Demonstrators march through central Tehran toward the former US Embassy during a rally marking the 47th anniversary of the 1979 embassy takeover and hostage crisis on Wednesday.

ට්‍රම්ප් මුහුණ දුන් මැදවාර මැතිවරණ පරාජය හමුවේ ඉරානය යම් සතුටක් පළ කළද, ඊළඟට සිදුවිය හැකි නව ඇමෙරිකානු ප්‍රහාරයක් හෝ නව ගිවිසුමකට කෙරෙන බලපෑමක් පිළිබඳව ඔවුන් සූදානමින් පසුවේ.

ෆොක්ස් නිවුස් (Fox News) නාලිකාව සමඟ පැවැති සංවාදයකදී ට්‍රම්ප් පිළිගත්තේ ඉරාන යුද්ධය රිපබ්ලිකන් පක්ෂයේ මෙම පරාජයට යම් තරමකින් හේතු වූ බවයි. එමෙන්ම උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) සිය X ගිණුමේ සටහනක් තබමින් “අපගේ පරාජයට ප්‍රධාන හේතුව මෙම යුද්ධයයි” යනුවෙන් සෘජුවම ප්‍රකාශ කර තිබුණි.

ඇමෙරිකානු ඡන්දදායකයින් යුද්ධයට එරෙහි කිරීමේ අරමුණින් ඉරානය විසින් කලාපයේ ආර්ථිකයට වැදගත් නාවික මාර්ග ඉලක්ක කරගනිමින් මාස අටක් පුරා ප්‍රහාර එල්ල කළ අතර, රිපබ්ලිකන් පක්ෂයේ මෙම පරාජය එම යුද්ධයට එරෙහිව ජනතාව දුන් තීන්දුවක් ලෙස තෙහෙරානය හඳුන්වා දෙයි.

“එක්සත් ජනපද රජය ජාත්‍යන්තර කප්පම්කරුවන්ගේ සහ බලපෑම්කරුවන්ගේ අවශ්‍යතා උදෙසා තමන්ගේම ජනතාවගේ කැමැත්ත පාවා දෙන්නේ නම්, අපගේ ‘නැත’ යන්න පිටුපස ඇති බිහිසුණු ප්‍රතිවිපාක කෙබඳුදැයි ඔවුන්ට වටහා ගැනීමට සිදුවනු ඇතැයි” එක්සත් ජනපදය සමඟ පැවැති සාකච්ඡාවලට නායකත්වය දුන් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගාලිබාෆ් X ගිණුමේ සටහනක් තබමින් අනතුරු අඟවා තිබේ.

කෙසේ වෙතත්, වොෂින්ටනයේ ප්‍රතිපත්තිය ක්ෂණිකව වෙනස් වනු ඇතැයි තෙහෙරානය තදින් විශ්වාස කරන්නේ නැත. මෙම මැතිවරණ ප්‍රතිඵල නිසා ඇමෙරිකානු ප්‍රතිපත්තිය වෙනස් වේ යැයි සිතන ඕනෑම අයෙකු “දැඩි ලෙස මුළාවී ඇති” බව ඉරානයේ උප නායක මොජ්තබා ඛමේනි ප්‍රකාශ කර ඇති අතර, නව යුද්ධයකට මුහුණ දීමට මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයන් සඳහා ද සූදානම් වන බැවින් ඉරාන උපායමාර්ගය ඇමෙරිකානු මැතිවරණ මත පමණක් පදනම් නොවන බව නිලධාරීහු පවසති.

කලාපය තුළ නැවතත් හමුදාමය උද්‍රේකයක් ඇතිවීමේ අවදානම ඉහළ මට්ටමක පවතී. ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව වඩාත් ප්‍රබල නව ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ හැකි බවට පළවන වාර්තා නිසා කලාපය පුරා නොසන්සුන් භාවයක් නිර්මාණය වී ඇති අතර, එවැන්නක් සිදු වුවහොත් තමන් එල්ල කරන ප්‍රතිප්‍රහාර පෙරට වඩා ඉතා පුළුල් පරාසයක පවතිනු ඇති බවට තෙහෙරානය අනතුරු අඟවයි. මේ අතර, ට්‍රම්ප් ඇතැම් මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ තමන් ඉරානයට දැඩි ලෙස ප්‍රහාර එල්ල කිරීමට කල්පනා කරමින් සිටින බවයි. නමුත් තවත් පිරිසකට පවසා ඇත්තේ ක්ෂණික හමුදාමය ක්‍රියාමාර්ගයකට යාමේ පූර්ව සැලසුමක් නොමැති බවයි.

අනෙක් පසින් රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට ද මඟපෑදී ඇත. පසුගිය ග්‍රීෂ්ම ඍතුවේදී අඩපණ වී තිබූ සාකච්ඡා පසුගිය සතිය වන විට නැවත ආරම්භ වී ඇති අතර, ඉරාන නිලධාරීන් කටාර් මධ්‍යස්ථකරුවන් හමුවී වොෂින්ටනය වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඡන්ද විමසීමට පෙර, ට්‍රම්ප් තමන්ගේ කොන්දේසි 7 ට එකඟ වන්නේ නම් දින දෙකක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීමට ඉරානය යෝජනා කර තිබුණි.

චැතම් හවුස් (Chatham House) ආයතනයේ සනම් වකිල් (Sanam Vakil) සඳහන් කරන්නේ ඉරාන නායකත්වයට මෙය යම් ජයග්‍රහණයක් ලෙස හැඟිය හැකි වුවද එයින් ඔවුන්ගේ ගැටලු සම්පූර්ණයෙන් විසඳෙන්නේ නැති බවයි. ට්‍රම්ප්ට රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් අවශ්‍ය වුවද ඔහු දුර්වල ලෙස පෙනී සිටීමට අකමැති වනු ඇති අතර, ඉරානය මෙය වැඩි සහන ප්‍රමාණයක් ඉල්ලා සිටීමට ලැබුණු අවස්ථාවක් ලෙස තක්සේරු කිරීමට ඉඩ ඇති බව ඇය පවසයි. ඒ අනුව දැඩි හමුදාමය තර්ජන මැද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා තීව්‍ර වනු ඇති බවත්, පූර්ණ ගිවිසුමකට වඩා හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තාවකාලික ගිවිසුමකට පැමිණීම වඩාත් ප්‍රායෝගික විය හැකි බවත් ඇය පෙන්වා දෙයි.

ඇමෙරිකා-ඊශ්‍රායල සබඳතාවල ‘යුගයක අවසානය’

Trump looks on as Israeli Prime Minister Benjamin Netanyahu speaks during a dinner in the Blue Room of the White House on July 7, 2025.

ඊශ්‍රායලයට පළමු අභියෝගය එල්ල වූයේ මැතිවරණ දිනයේදී ඊශ්‍රායලය වෙත ලබාදෙන ඇමෙරිකානු හමුදා ආධාර හදිසියේම කප්පාදු කිරීමට ට්‍රම්ප් තීරණය කිරීමත් සමඟයි. ඉන්පසු ප්‍රකාශයට පත් වූ මැතිවරණ ප්‍රතිඵලවලින් ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රස් මණ්ඩලයේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම බලය අත්පත් කරගැනීම (“Blue Tsunami”) ඊශ්‍රායලයට දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇත.

ගාසා තීරයේ සිදුවූ මරණ සංඛ්‍යාව හේතුවෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් ඊශ්‍රායලය කෙරෙහි කෝපයෙන් පසුවූ අතර, ඊශ්‍රායලයට ඇමෙරිකාව අනවශ්‍ය ලෙස අධික සහයෝගයක් ලබාදෙන බවට බොහෝ රිපබ්ලිකන් පාක්ෂිකයින් ද විශ්වාස කිරීම නිසා ඇමෙරිකාව තුළ ඊශ්‍රායලය වෙනුවෙන් තිබූ ද්වි-පාර්ශ්වික සහයෝගය දැනටමත් පිරිහෙමින් පැවතිණි.

“දැනට ඇමෙරිකානු දේශපාලනයේ පවතින එකම පොදු ද්වි-පාර්ශ්වික මතය වන්නේ ඊශ්‍රායලය විවේචනය කිරීමයි,” යනුවෙන් එක්සත් ජනපදයේ හිටපු ඊශ්‍රායල තානාපති මයිකල් ඔරෙන් (Michael Oren) CNN නාලිකාවට පවසා ඇත. “එය ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන ස්ථාවරයක් බවට පත්ව තිබෙනවා මෙන්ම, රිපබ්ලිකන් පක්ෂයේ ද විශාල පිරිසකගේ ස්ථාවරය බවට පත්වෙමින් තිබෙනවා.“

හමුදා ආධාර නැවැත්වීම යනු ආරම්භයක් පමණක් බවත්, ඉදිරියේදී ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අතර බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සහ ‘අයන් ඩෝම්’ (Iron Dome) වැනි ගුවන් ආරක්ෂක පද්ධති ඒකාබද්ධව සංවර්ධනය කිරීම පවා නැවතීමට ඉඩ ඇති බව ඔරෙන් පෙන්වා දෙයි. එසේම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ඇමෙරිකානු ජනාධිපතිවරුන් විසින් ‘වීටෝ’ (Veto) බලය භාවිත කරමින් ඊශ්‍රායලය ආරක්ෂා කළ අතීත සම්ප්‍රදාය ද වෙනස් විය හැකි බව ඔහු පවසයි.

“අප මේ පසුවන්නේ එක් යුගයක අවසානයේදියි,” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉරාන යුද්ධය පැවැති සමයේ ඇමෙරිකාව තුළ ඊශ්‍රායලයට එරෙහි මතවාදය තවදුරටත් දැඩි වූ අතර, බොහෝ ඇමෙරිකානු ඡන්දදායකයින් මෙම යුද්ධය නෙතන්යාහු විසින් ට්‍රම්ප් ලවා කරවන ලද්දක් ලෙස දුටූහ. දැනටත් නෙතන්යාහු ඉරානයට එරෙහිව නැවත ප්‍රහාර ආරම්භ කිරීමට ට්‍රම්ප්ට බලපෑම් කරමින් සිටින අතර, එවැන්නක් සිදු වුවහොත් ඉන්ධන මිල සහ ජීවන වියදම නැවත ඉහළ ගොස් රිපබ්ලිකන් පක්ෂයට තවදුරටත් දේශපාලනිකව හානි සිදුවනු ඇත.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු තම රට තුළ ද දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටියි. ඇමෙරිකානු මැදවාර මැතිවරණයට සතියකට පෙර පැවැති ඊශ්‍රායල මැතිවරණයෙන් ඔහුගේ පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ නමුත්, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන හිටපු හමුදාපති ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) හට ද පූර්ණ බහුතරයක් හිමි නොවීය. එම නිසා ඔහුට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අරාබි පක්ෂවල සහයෝගය ලබා ගැනීමට සිදුවනු ඇත.

මේ අතර, වාමාංශික ඩිමොක්‍රටික් පක්ෂයේ නායක යායිර් ගොලාන් (Yair Golan) අවධාරණය කළේ ඊශ්‍රායලය ජාත්‍යන්තර සම්බාධකවලින් සහ හුදකලා වීමෙන් මුදාගැනීමට නම් නෙතන්යාහු ධුරයෙන් ඉවත් කර නව නායකත්වයක් තෝරාගැනීමට කාලය නාස්ති නොකළ යුතු බවයි.

ට්‍රම්ප්ගෙන් පසු ලෝකය දෙස යුක්‍රේනය අවධානයෙන්

Ukrainian President Volodymyr Zelensky is berated in the Oval Office of the White House by Trump, and Vice President JD Vance during a meeting on February 28, 2025.

යුක්‍රේනයේ (Kyiv) ප්‍රතිචාරය මැතිවරණයට පෙර සිටම ගොඩනැගෙමින් පැවැති අතර, බුධදින මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ඔවුන් දැක්වූයේ සාපේක්ෂ නිශ්ශබ්දතාවයකි.

පසුගිය සති කිහිපය පුරා ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ ට්‍රම්ප් අතර සබඳතාව දැඩි ලෙස පළුදු වී තිබුණි. ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි ධුරයෙන් ඉවත් කළ යුතු බවට ප්‍රකාශ කිරීම, රුසියාවට වාසිදායක වන පරිදි බලශක්ති ගිවිසුම්වලට එළඹීමට උත්සාහ කිරීම සහ යුක්‍රේනය ඇමෙරිකානු තාක්ෂණය හා බුද්ධි තොරතුරු මත තබා තිබූ පරායත්තතාවලට බාධා පැමිණවීම ඊට හේතු විය. ඒ අනුව, ට්‍රම්ප්ගේ පාලන කාලයෙන් පසු උදාවන ලෝකය තෙක් ඉවසීමෙන් පසුවීමට කියෙව් පාලනයට සිදුවිය.

බුධදින මැතිවරණ ප්‍රතිඵල පැහැදිලි වෙද්දී කියෙව් වෙතින් නිල ප්‍රකාශ නිකුත් නොවූ අතර, සෙලෙන්ස්කි රූපවාහිනියෙන් මැතිවරණ පුවත් බලමින් සිටින ආකාරයේ ඡායාරූප සමාජ මාධ්‍ය පුරා ප්‍රචලිත විය.

ජනාධිපති කාර්යාලයේ නියෝජ්‍ය නිලධාරියෙකු වන සර්ගි කිස්ලිට්සියා (Sergiy Kyslytsia) රූපවාහිනිය හමුවේ ප්‍රකාශ කළේ, ඇමෙරිකාවේ බලයට පත්වන ඕනෑම අයෙකු සමඟ තම රට ස්ථාවර සහ යථාර්ථවාදී සබඳතාවක් පවත්වාගෙන යන බවත්, ‘පේට්‍රියට්’ (Patriots) ගුවන් ආරක්ෂක පද්ධති ලබා ගැනීමටත්, නව කොංග්‍රස් මණ්ඩලය සමඟ කටයුතු කිරීමටත් සූදානම් බවයි.

කෙසේ වෙතත්, මැතිවරණ පරාජය හමුවේ ට්‍රම්ප්ගේ බලය කෙමෙන් ගිලිහී යාම යුක්‍රේනයට වාසිදායක තත්ත්වයකි. රුසියානු ආක්‍රමණය හමුවේ යුක්‍රේනයට දඬුවම් කරන අයුරින් කටයුතු කළ ට්‍රම්ප්, සාමය ළඟා කරදීම ඉතා පහසු බව මීට පෙර ප්‍රකාශ කර තිබුණි. ඔහු සෙලෙන්ස්කිව දැඩි ලෙස විවේචනය කළ අතර, ඇමෙරිකාවේ පැවැති පැරණි ආරක්ෂක සන්ධානයන් බිඳවැටීම පිළිබඳව යුරෝපීය මිත්‍ර පාක්ෂිකයෝ ද දැඩි කනස්සල්ලෙන් පසුවූහ.

යුක්‍රේනයට තවමත් ඇමෙරිකාවෙන් ආයුධ, මුදල් සහ ආරක්ෂක සහතිකය අවශ්‍යව පවතී. නමුත් මාස ගණනාවක් පුරා එල්ල වූ සදොස් ප්‍රතිචාර හමුවේ වොෂින්ටනය මත පමණක් සම්පූර්ණයෙන් යැපීමට නොහැකි බව කියෙව් පාලනය තීරණය කර ඇත.

කෙසේ වෙතත්, මෙම තත්ත්වයේ එක් අවාසියක් ද පවතී. එනම්, ඉදිරි 2028 ඇමෙරිකානු ජනාධිපතිවරණය හමුවේ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රතිපත්තිය නැවතත් යුක්‍රේනයට හිතවාදී තත්ත්වයකට පත්වීමට පෙර, තමන්ට අවශ්‍ය උපරිම වාසිය යුද්ධයෙන් ලබාගැනීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් උත්සාහ කිරීමට ඉඩ තිබීමයි. ට්‍රම්ප් වැනි ප්‍රබල මිතුරෙකු සිටියදී පවා යුධ බිමේදී කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබාගැනීමට පුටින් අසමත් වූ අතර, ට්‍රම්ප්ගේ බලය පවතින අවසාන කාල සීමාව තුළ එම තත්ත්වය වෙනස් කරගැනීමට ඔහු උත්සාහ කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here