බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් පසු බ්‍රිතාන්‍ය පවුමේ වටිනාකම වසර 10කට පසු ඉහළම මට්ටමක

0
5

2016 වසරේ පැවති බ්‍රෙක්සිට් (Brexit) ජනමත විචාරණයෙන් පසු බ්‍රිතාන්‍ය පවුමේ සමස්ත විනිමය වටිනාකම වසර 10කට වැඩි කාලයකින් වාර්තා වූ ඉහළම මට්ටම කරා ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉදිරියේදී එංගලන්ත මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහළ නැංවීමට අපේක්ෂා කිරීමත් සමඟ, පසුගිය සති කිහිපය තුළ අමෙරිකානු ඩොලරයට සහ යුරෝවට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුම කැපී පෙනෙන ලෙස ශක්තිමත් වී තිබේ.

එංගලන්ත මහ බැංකුවේ දත්තවලට අනුව, ලෝකයේ ප්‍රධාන මුදල් ඒකක 18ක එකතුවකට සාපේක්ෂව පවුමේ වටිනාකම මනින දර්ශකය ඒකක 86.4ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 2016 ජුනි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම අගය මෙය වේ.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම, කොවිඩ් වසංගතය සහ 2022 ආර්ථික අර්බුදය හේතුවෙන් මීට පෙර පවුමේ වටිනාකම දැඩි ලෙස පහත වැටී තිබුණි. කෙසේ වෙතත්, දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික වර්ධනය සහ යුරෝපා සංගමය සමඟ සබඳතා යළි ශක්තිමත් වීම ආයෝජක විශ්වාසය ඉහළ නැංවීමට හේතු වී ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙති.

පවුම ශක්තිමත් වීම හරහා ආනයනික භාණ්ඩවල මිල පාලනය කිරීමට සහ උද්ධමනය අවම කර ගැනීමට මෙන්ම, පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ හැකියාව ඉහළ නංවා ගැනීමටද එය මහත් රුකුලක් වනු ඇත.

මේ අතර, මෙම වසරේ බ්‍රිතාන්‍ය ආර්ථිකය අපේක්ෂිත මට්ටම ඉක්මවා වර්ධනය වී තිබුණද, ඉන්ධන සහ බලශක්ති මිල ඉහළ යාම පාරිභෝගික විශ්වාසයට යම් අභියෝගයක් වී තිබේ. එවැනි පසුබිමක් තුළ, වසර තුනකට පසු ප්‍රථම වරට පොලී අනුපාත ඉහළ නැංවීමට එංගලන්ත මහ බැංකුව කටයුතු කරනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පුරෝකථනය කරති.

මූලාශ්‍රය : BBC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here