NEWSNOW | – ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරණයට පත් ඉරානයේ ප්‍රමුඛ පෙළ හමුදා නායකයාගේ දේහය මිහිදන් කිරීමේ අවස්ථාවට පැමිණි ජනයා අතර ඇති වූ තෙරපීමකින් පනස්දෙනෙකු දෙනෙකු මරණයට පත්ව ඇතැයි ඉරාන බලධාරීහු පවසති.
ඒ හේතුවෙන් ජෙනරාල් කාසෙම් සුලේයිමානිගේ භූමදාන කටයුතු කල් තැබීමට ද සිදුව ඇත. එම කටයුතු සිදු කෙරෙන වේලාව පසුව දැනුම් දෙනු ඇතැයි බලධාරීහු කියා සිටියහ.
ජෙනරාල්වරයාගේ භූමදාන කටයුතු සිදු කෙරෙන්නේ ඔහුගේ උපන් ගම වූ මධ්‍යම ඉරානයේ පිහිටි කෙයිර්මාන් නගරයේදීය. අවමංගල්‍ය පෙරහැර සඳහා දස ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක් රැස්වෙමින් සිටි බව ඇස්තමේන්තු කෙරේ.
ජෙනරාල් සුලේයිමානිගේ ඝාතනය, ඇමරිකාව සහ ඉරානය අතර ගැටුමක් දක්වා දුර දිග ය හැකි බවට බිය පළවේ.
ජනවාරි 03 වෙනිදා මරණයට පත් ජෙනරාල් සුලේයිමානි, ඉරානයේ ඉහළම නායක අයතුල්ලා කමේනිගේ පසු සිටි දෙවන ප්‍රබලතම පුද්ගලයා ලෙස සැලකේ. ඇමරිකාව විසින් ජෙනරාල්වරයා “ත්‍රස්තවාදියෙකු” ලෙස සහ ඇමරිකානු හමුදාවලට තර්ජනයක් වන පුද්ගලයෙකු ලෙස සලකනු ලැබීය.
බලයට පත් වීමෙන් අනතුරුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියකට එළඹී අතර ටෙහෙරාන් පාලනය ද තමන්ගේම ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කරමින් ඊට ප්‍රතිචාර දැක්වීය. සිය හමුදා වෙත ප්‍රහාර එල්ල කරන බව පැවසෙන ඉරානයේ සහාය ලබන ඉරාකයේ සන්නද්ධ කණ්ඩායමක් වෙත ඇමරිකාව පසුගිය මස ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග දෙරට අතර උණුසුම තවත් වර්ධනය විය.
කෙයිර්මාන් නගරයේ අඟහරුවාදා (ජනවාරි 07) උදෑසන සැලසුම් කර තිබූ භූමදාන උත්සවයට පෙර සිටම විශාල ජනකායක් ඒ වෙත පැමිණ සිටියහ.
වෛද්‍ය නිලධාරියෙකු කියා සිටියේ තෙරපීමට හසුව දෙසීයකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවය.
ඇමරිකාව සහ ඉරානය අතර උණුසුම ඉහළ යමින් තිබියදී |
- ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වෙත යාම සඳහා ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවෙඩ් සරිෆ් ට වීසා ලබා දීම ඇමරිකානු බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තා වේ. විදෙස් බලධාරීන්ට එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වෙත පැමිණීමට ඇති හැකියාව සහතික කෙරෙන එකඟතාව එමගින් කඩවී ඇති බවක් පෙනෙන්නට තිබේ.
- වීසා ලබා ගැනීම සඳහා කළ ඉල්ලීම පරීක්ෂා කර බැලීමට ප්‍රමාණවත් කාලයක් නොතිබුණු බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ තමා වෙත දන්වා ඇතත් තමා වීසා ලබා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණේ 2019 වසරේ දෙසැම්බර් මස බව ඉරාන විදේශ ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටී.
- ටෙහෙරාන් අගනුවර පැවති සමුළුවකදී ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවෙඩ් කියා සිටියේ ජෙනරාල් සෙලෙයිමානි ඝාතනය කරනු ලැබීම මගින් ඇමරිකාව “විශාල සූදුවක යෙදෙමින් වැරදි ගණනය කිරීමක් සිදු කර ඇති” බවය.
- ඉස්ලාමීය රාජ්‍ය (IS) කැරලිකරුවන්ට එරෙහිව එක්ව සිදු කරනු ලබන මෙහෙයුම්වල කොටසක් වශයෙන් ඉරාකයේ රඳවා සිටි සිය හමුදා භටයන් සුළු පිරිසක් ඉවත් කර ගැනීමට ජර්මනිය කටයුතු කරමින් සිටී.
- ඇමරිකානු ජෙනරාල්වරයකු වෙතින් ඉරාකයෙන් සිය භට පිරිස් ඉවත් කර ගනු ඇතැයි දැක්වුණු ලිපියක් ලැබී ඇතත් ඉරාකයෙන් සිය භටයන් ඉවත් කර ගැනීම ඇමරිකාව ප්‍රතික්ෂේප කර තිබිණි.
- ඇමරිකානු හමුදාව සහ පෙන්ටගනය ත්‍රස්ත සංවිධාන ලෙස නම් කෙරෙන යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සම්මත කර ගනු ලැබ ඇති අතර ජෙනරාල් සුලෙයිමනි විසින් නායකත්වය ලබා දෙන ලද හමුදා ඒකකයට වැඩි වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ.
මේ අතර ඉරානය තමන්ට එරෙහිව ප්‍රහාරයක් එල්ල කළහොත් එරට සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන වෙත ද ප්‍රති ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් කළ තර්ජනය සම්බන්ධයෙන් විවේචන එල්ල වේ.
ඉරානය “අපේ මිනිස්සු හිංසාවට ලක් කර, අඩපණ කර පුපුරවා හැරීම් සිදු කළ හොත්” සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන ඇතුළුව එරට හඳුනා ගනු ලැබූ ස්ථාන 52 ක් වෙත ප්‍රහාර එල්ල විය හැකි බව ජනාධිපති ට්‍රම්ප් පවසා තිබිණි.
ඒ සම්බන්ධයෙන් එල්ල වූ විවේචන හමුවේ එකී තර්ජනයට මෘදු බවක් ලබා දීමේ උත්සාහයක යෙදුනු ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කියා සිටියේ ඇමරිකාව ජාත්‍යන්තර නීතිය තුළ සිටිමින් කටයුතු කරනු ඇති බවය.
මේ අතර ඉරිදා (ජනවාරි 05) රැස් වූ ඉරාන කැබිනට් මණ්ඩලය 2015 වසරේදී එළඹුණු න්‍යෂ්ටික ගිවිසුමෙන් පනවන ලද කවර හෝ තහංචියකින් තවදුරටත් තමන් නොබැදෙන බව ප්‍රකාශ කළේය.
නිවේදනයක් නිකුත් කරමින් එරට කියා සිටියේ න්‍යෂ්ටික වැඩිදියුණු කිරීම්, එසේ වැඩිදියුණු කෙරෙන මට්ටම, න්‍යෂ්ටික ද්‍රව්‍ය ප්‍රමාණය හෝ පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ සිය හැකියාවට අදාළ කවර හෝ සීමාවක් තවදුරටත් අනුගමනය නොකරන බවකි.
එදින ඉරාකය ද සිය බිමෙන් විදෙස් හමුදා පිටමං කිරීමේ යෝජනාවක් සම්මත කරගත්තේය.
සටහන | BBC