ඉදිරි මාස තුන සඳහා රුපියල් කෝටි 4,100 ක (රුපියල් බිලියන 41 ක) ඉන්ධන සහනාධාරයක් ලබාදීමට අදාළ යෝජනාව අද (28) දිනයේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මහජනතාව මත පැටවෙන බර අවම කිරීමේ අරමුණින් මෙම සහනාධාරය ලබාදීමට තීරණය කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිතය.
ඇමරිකා – ඉරාන යුද ගැටුම් හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග ලෝක වෙළඳපොළේ තෙල් සැපයුමට බාධා එල්ල වූ අතර, එමගින් ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළ යාමට පටන් ගත්තේය. එම මිල වැඩිවීමේ බර ජනතාව මත සම්පූර්ණයෙන්ම නොපැටවීම සඳහා රජය මීට පෙරද සහන සැලසීමට කටයුතු කළේය.
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම් හමුවේ අභියෝග එල්ල වූවද, මෙලෙස රුපියල් කෝටි 4,100 ක මුදලක් වෙන් කරමින් ඉදිරි මාස සඳහාද ඉන්ධන සහනාධාරය ලබාදී මහජනතාවට සහන සැලසීමට රජය අපේක්ෂා කරයි.

