අනෝජන්ගේ මරණ දඬුවම සම්බන්ධයෙන් ITAK සංවිධානය ජනපතිගෙන් හදිසි හමුවක් ඉල්ලයි.

0
7

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින 26 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අමල්රාජ්ට (Anojan) සමාව ලබා දී නිදහස් කරගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් පිළිබඳව සාකච්ඡා කිරීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් හදිසි හමුවක් ඉල්ලා තිබේ.

සැප්තැම්බර් 22 වන දිනැති ලිපියක් මගින් ITAK සභාපති සී.වී.කේ. සිවඥානම් සහ ප්‍රධාන ලේකම් එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ අමල්රාජ් පසුවන තත්ත්වයේ බරපතලකම සැලකිල්ලට ගෙන වහාම පියවර ගන්නා ලෙසයි.

සෞදි අරාබිය බලා නියෝජිත පිරිසක් යැවීමට සැලසුම් කර ඇති බවට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකින් පසුව, එම නියෝජිත පිරිසට එක්වීම සඳහා අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවීන්ද්‍රන් කෝඩීස්වරන් මහතාව ITAK පක්ෂය මගින් නම් කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා වන ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් ඉක්මන් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් මගබලා සිටින බව ITAK පවසයි.

මේ අතර, සෙප්තැම්බර් 23 වන දින නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අමල්රාජ් වෙනුවෙන් ජාත්‍යන්තර සහාය ලබාගැනීම සඳහා ITAK මන්ත්‍රීවරුන් පසුගිය දිනවල කොළඹ සිටින විදේශ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ විවිධ රටවල නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වූ බවයි.

ITAK පාර්ලිමේන්තු කණ්ඩායම් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතාට අනුව, අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැනට පක්ෂය සතුව ඇති කරුණු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් වෙත පැහැදිලි කර දී ඇති අතර, ඔහුව නිදහස් කරගැනීමේ උත්සාහයන් සඳහා ඔවුන්ගේ සහාය ඉල්ලා තිබේ.

එසේම ITAK පක්ෂය සමඟ සමීපව කටයුතු කරන විදේශගත දෙමළ සංවිධාන (Diaspora) ද තමුන් ක්‍රියාත්මක වන රටවල රජයන් සහ අදාළ බලධාරීන් හමුවී මේ සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික හා මානුෂීය සහාය ඉල්ලා ඇති බව ඔහු පැවසීය.

මෙම මැදිහත්වීම් හරහා ශ්‍රී ලංකා රජය විසින් වහා අවධානය යොමු කළ යුතු අතිරේක රාජ්‍යතාන්ත්‍රික මාර්ග සහ යෝජනා කිහිපයක් හඳුනා ගැනීමට හැකි වූ බව රාසමාණික්කම් මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here