මෙරට ඩෙංගු ව්‍යාප්තිය තවත් උග්‍ර අතට හැරෙමින් මරණ සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත වාර්තා කරයි. මේ වන විට වසරේ සමස්ත ඩෙංගු රෝගීන් 89,033 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක්, එනම් 52.94% ක් (රෝගීන් 47,136 ක්) වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 18,922 කි (21.25%). ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,679 ක් (19.86%) සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,298 ක් (7.07%) වාර්තා වී ඇති අතර, කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් පමණක් රෝගීන් 3,569 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඩෙංගු ව්‍යාප්තියේ වැඩිම බලපෑම පසුගිය ජූලි මාසයේදී දක්නට ලැබුණු අතර, එම මාසයේදී පමණක් රෝගීන් 29,973 දෙනෙකු වාර්තා වී ඇත. එමෙන්ම අගෝස්තු මාසයේ මුල් දින 7 තුළ පමණක් රෝගීන් 3,686 දෙනෙකු හඳුනාගැනීමට හැකි වී තිබේ. පවතින අධික අවදානම් සහිත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119 ක් තවදුරටත් ඩෙංගු අධි-අවදානම් කලාප ලෙස නම් කර ඇත.

