වයස අවුරුදු 87 සිට මේ දක්වා හය වතාවක් (6) පියාසර කරන ගුවන් යානයක තටුවක් මත නැගී (Wing walking) අහසේ සැරිසැරූ 97 හැවිරිදි බෙටී බ්‍රොමේජ් (Betty Bromage) නමැති ජ්‍යෙෂ්ඨ පූරවැසියා, ලොව වයස්ගතම කාන්තා “වින්ග් වෝකර්” ලෙස තමා විසින්ම තබා තිබූ ගින්නස් ලෝක වාර්තාව නැවතත් අලුත් කර තිබේ.
එක්සත් රාජධානියේ චෙල්ටන්හැම් හි පදිංචි ඇය, පසුගිය අගෝස්තු 4 වන අඟහරුවාදා මෙම අභියෝගාත්මක වික්‍රමයට එක්වූයේ තමාටම අභියෝග කරගනිමින් අරමුදල් රැස්කිරීමේ අරමුණිනි.
තමන් මුහුණ දුන් මෙම අවදානම්කාරී අත්දැකීම පිළිබඳව අදහස් දක්වමින් ඇය BBC පුවත් සේවයට මෙසේ පවසා සිටියාය:
“එහෙම නොකළොත් මට ජීවිතේ හරිම පාලුවක් දැනෙනවා. මට දැන් වාහන පදවන්න බැහැ, ඇස් දෙකත් එච්චර පෙනෙන්නේ නැහැ. ඒ ගැන මට යම් කලකිරීමක් තියෙනවා. ඒ නිසයි මට තවමත් කරන්න පුළුවන් දේවල් උපරිමයෙන්ම කරන්න මම උත්සාහ කරන්නේ.”
පසුගිය වසරේ ඇතිවූ අංශභාග (Stroke) තත්ත්වයෙන් පසු තමන්ට ප්‍රතිකාර කළ රෝහලේ අංශභාග ඒකකයට අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ඇය මෙම වින්ග් වෝකින් (Wing walking) අභියෝගයට මුහුණ දී ඇත.

