පෞද්ගලික ආයෝජකයන් වෙත පාපන්දු තරගාවලිවල කොටස් විකිණීමේ ‘ෆිෆා ෆෝවර්ඩ් එන්ටර්ප්‍රයිස්’ (FFE) මතභේදාත්මක යෝජනාව සම්බන්ධයෙන් සිදු වූ වැරදි වෙනුවෙන් FIFA සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ (Gianni Infantino) සිය අවංක කණගාටුව පල කරමින් සමාව අයැද තිබේ.
මෙම යෝජනාව හරහා මධ්‍යස්ථාන සමඟ නිසි පරිදි සාකච්ඡා නොකිරීම සහ තොරතුරු මාධ්‍ය වෙත කාන්දු වීමෙන් පසු තත්ත්වය පාලනය කරගැනීමට අපොහොසත් වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය. විශේෂයෙන් යුරෝපා පාපන්දු පාලක මණ්ඩලය (UEFA) සහ අභ්‍යන්තර පාර්ශ්ව රැසක් මීට දැඩි ලෙස විරුද්ධත්වය පළ කළ අතර, කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි සහ පෘතුගාලයේ හිටපු ක්‍රීඩක ලුයිස් ෆිගෝ වැනි ප්‍රබලයන් ඉන්ෆන්ටිනෝගේ ඉල්ලා අස්වීම පවා ඉල්ලා සිටියහ.
කෙසේ වෙතත්, රබාත් නුවර පැවති හදිසි ජ්‍යෙෂ්ඨ විධායක හමුවකින් පසුව ඉන්ෆන්ටිනෝ සහ මහලේකම් මැටියාස් ග්‍රැෆ්ස්ට්‍රෝම් එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් සියලු සාමාජික සංගම් වෙත තමන් අතින් වූ වැරදි පිළිගනිමින් ලිපියක් යොමු කරන ලදී. එහිදී සංවිධානයේ කීර්ති නාමය ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව අවධාරණය කළ අතර, පාලක මණ්ඩලයේ පූර්ණ සහයෝගය සහ විශ්වාසය නැවත දිනාගැනීමට සභාපතිවරයා සමත් විය.
ඒ අනුව 2027 මාර්තු මාසයේ මොරොක්කෝවේදී පැවැත්වීමට නියමිත ෆිෆා සභාපතිවරණයේදී 56 හැවිරිදි ඉන්ෆන්ටිනෝ සිව්වන වරටත් තරග කිරීමට සූදානමින් සිටින අතර, UEFA සංගමය විකල්ප අපේක්ෂකයෙකු සෙවීමට උත්සාහ කළද අප්‍රිකානු සහ ආසියානු රටවල ප්‍රබල සහයෝගය තවදුරටත් ඔහු වෙත හිමිව තිබේ.

