වසා දැමීමට ගිය සීනෝර් ආයතනය නැවත නැගී සිටියි

0
4

මොරිෂස් රාජ්‍යයේ පෞද්ගලික අංශය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සීනෝර් (Cey-Nor) ආයතනය මගින් නිෂ්පාදනය කරන ලද, ඇමරිකානු ඩොලර් 234,000ක් වටිනා අඩි 55ක් දිගැති නවීන ධීවර යාත්‍රාව නිල වශයෙන් භාරදීමේ උත්සවය ඊයේ (04) මට්ටක්කුලිය සීනෝර් යාත්‍රාංගණයේදී පැවැත්විණි. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී “CAPTAIN C” ලෙස නම් කළ, කියුබික් මීටර් 29ක මත්ස්‍ය ගබඩා ධාරිතාවයකින් යුත් මෙම යාත්‍රාව මොරිෂස්හි Captain C Adventure Offshore Fishing Co-operative Society ආයතනයේ සභාපති රමේෂ් චුට්ටූ මහතා වෙත භාරදෙන ලදී.

පසුගිය කාලයේ වසා දැමීමට හෝ පෞද්ගලීකරණය කිරීමට යෝජනා වී තිබූ සීනෝර් ආයතනය, වත්මන් රජය යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගනිමින් ලැබූ මෙම සුවිශේෂී ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ නිසි කළමනාකරණය මත රාජ්‍ය ආයතන ලාභදායී කළ හැකි බවට සීනෝර් ආයතනය හොඳම උදාහරණයක් බවයි. තවද, නෝර්වේ සහ ජපානයෙන් තාක්ෂණික සහාය ලබාගැනීමට කටයුතු යොදා ඇති අතර, මොරිෂස් රාජ්‍යයේ සීනෝර් යාත්‍රාංගනයක් පිහිටුවීමට මෙන්ම උතුරු පළාතේ සංචාරක කර්මාන්තය උදෙසා රුපියල් මිලියන 150ක නව යාත්‍රාවක් නිෂ්පාදනය කිරීමට ද සැලසුම් කර තිබේ.

1967 සිට ක්‍රියාත්මක සීනෝර් ආයතනය මේ වන විට යාත්‍රා 20,000කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති බවත්, ඉදිරියේදී සීෂෙල්ස් සහ මැඩගස්කරය වැනි රටවලට ද යාත්‍රා අපනයනය කරමින් විදේශ විනිමය ඉපැයීමට සූදානම් බවත් එහි සභාපති වසන්ත මාන්නප්පෙරුම මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස, නාරා (NARA) ආයතනයේ සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි සහ ලංකා ධීවර සංස්ථාවේ සභාපති මොහොමඩ් නව්රාස් නසාර් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here