ජස්ප්‍රිත් බුම්රාට ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

0
2

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරග සංචාරයෙන් ඉන්දීය ප්‍රහාරාත්මක වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ඉවත් කර තිබේ. මෙම වසර මුලදී පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඔහු මුහුණ දුන් වම් දණහිසේ ආබාධයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබීමට තවත් කාලයක් අවශ්‍ය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, නැවත ක්‍රීඩා පිටියට පිවිසීමට ඉක්මන් නොවන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ද ඔහුට දැනුම් දී ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මාසයෙන් පසු මේ දක්වා කිසිදු ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර නොමැති බුම්රාගේ දිගුකාලීන ශාරීරික යෝග්‍යතාවය වෙනුවෙන්, ඉකුත් ජූලි මාසයේ පැවැති එංගලන්ත තරගාවලියෙන් අනතුරුව BCCI වෛද්‍ය කණ්ඩායමේ සැලැස්මකට අනුව ඔහුව විශේෂ එන්නත් සත්කාරයකට ද යොමු කර තිබුණි. කෙසේ වෙතත්, මෙම සංචාරය සඳහා බුම්රා වෙනුවට සහභාගී වන ආදේශක ක්‍රීඩකයා කවුරුන්ද යන්න මෙතෙක් නිල වශයෙන් නම් කර නොමැත.

දෙරට අතර පැවැත්වෙන මෙම තීරණාත්මක තරගාවලියේ පළමු ටෙස්ට් තරගය එළඹෙන අගෝස්තු 15 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර, දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 23 වැනිදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකා සංචාරයට එක්වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙම ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර, අගෝස්තු මස 7 වැනිදා සිට කොළඹදී පැවැත්වෙන තෙදින පුහුණු තරගයකට ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here