මහර සිද්ධියෙන් පසු සියලු බන්ධනාගාරවල ආරක්ෂාව දැඩි කිරීමට අවධානය

0
3

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ දිවයින පුරා පිහිටි අනෙකුත් බන්ධනාගාරවල ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි.

අද (02) මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, වැලිකඩ, මැගසින්, කළුතර, මීගමුව ඇතුළු සියලු බන්ධනාගාරවල ආරක්ෂක වැඩපිළිවෙළ මේ වන විට ශක්තිමත් කර ඇති බවයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රකාශයට අනුව, ඊයේ (01) ආරම්භ වූ නොසන්සුන්කාරී තත්ත්වය අද අලුයම් කාලය දක්වා පැවති අතර, එම කාලය තුළ රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාරයේ දේපළ රැසකට හානි සිදුකර තිබේ.

කෙසේ වෙතත්, අද උදෑසන වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බළකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ එක්ව තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට සමත් වූ බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි පැය කිහිපය තුළ බන්ධනාගාරයේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කර, සාමාන්‍ය පරිපාලන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here