ජාතික ආරක්ෂාව පිළිබඳ නව ප්‍රවේශයක්: ආරක්ෂාව මූලික කරගත් චින්තනයේ සිට යුක්තිය මූලික කරගත් රාමුවක් කරා(1 – කොටස )

0
2

ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පී – රීසා යෙහියා විසිනි

සාමාන්‍යයෙන් ජාතික ආරක්ෂාව යන්න හමුදා බලය, දේසසීමා ආරක්ෂාව, බුද්ධි තොරතුරු රැස්කිරීම සහ ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග වැනි පටු රාමුවක් තුළ තේරුම් ගැනීමට පෙළඹේ. මෙම සාධක අත්‍යවශ්‍ය වුවද, පූර්ණ ජාතික ආරක්ෂාවක් තහවුරු කිරීම සඳහා ඒවා පමණක් ප්‍රමාණවත් නොවේ. හමුදාමය වශයෙන් කෙතරම් සන්නද්ධ වුවද, සමාජීය වශයෙන් බිඳවැටුණු, ආර්ථික අසමානතාවයෙන් පෙළෙන සහ සදාචාරාත්මකව පිරිහුණු ජාතියක් සැබෑ අර්ථයෙන් සුරක්ෂිත යැයි පැවසූ නොහැක. 21 වන සියවසේදී ජාතික ආරක්ෂාවට එල්ල වන ප්‍රබලතම තර්ජන බාහිර හමුදාමය ආක්‍රමණ නෙවෙයි; ජනවාර්ගික ධ්‍රැවීකරණය, ආගමික අන්තවාදය, පද්ධතිමය දූෂණය, පරම්පරාගත පීඩනයන් සහ විදේශීය බලපෑම් මත දේශීය බෙදීම් මෙහෙයවීම වැනි අභ්‍යන්තර බිඳවැටීම්ය.

මෙම ලිපිය මඟින් තර්ක කරනුයේ, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට පවතින ‘ආරක්ෂාව මූලික කරගත්’ (Security-centric) ප්‍රවේශයේ සිට ‘යුක්තිය මූලික කරගත්’ (Justice-centric) ප්‍රවේශයක් දක්වා වූ මූලික චින්තන පරමාදර්ශී වෙනසක් (Paradigm shift) අවශ්‍ය බවයි.

  • ආරක්ෂාව මූලික කරගත් ප්‍රවේශය: නිරීක්ෂණය, පොලිස්කරණය සහ හමුදා බලය යොදාගනිමින් එල්ලවන තර්ජනවලින් රාජ්‍යය ආරක්ෂා කිරීමට අවධානය යොමු කරයි. මෙය ප්‍රතික්‍රියාශීලී වන අතර, මූලික වශයෙන් රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කරයි.

  • යුක්තිය මූලික කරගත් ප්‍රවේශය: තර්ජන නිර්මාණය වන පරිසරය නැති කිරීම, සාධාරණ පද්ධති ස්ථාපිත කිරීම, අසාධාරණකම් හා දුක්ගැනවිලි නිරාකරණය කිරීම සහ සෑම පුරවැසියෙකුම ජාතියේ අනාගතයේ කොටස්කරුවෙකු බව තහවුරු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙය වළක්වාලීමේ ස්වභාවයක් ගන්නා අතර, බලහත්කාරයෙන් පැනවීමට වඩා සහයෝගිතාවයෙන් ගොඩනැඟිය යුත්තකි.

ජාති ගොඩනැඟීම සහ සමගිය

සමතාවය මත පදනම්ව සියල්ලන්ටම යුක්තිය ඉටුකිරීම ජාති ගොඩනැඟීමේ මූලික අරමුණ මෙන්ම ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියේ ද පදනම විය යුතුය. සමාජීය, ආර්ථික, දේශපාලනික හෝ සංස්කෘතික යන ඕනෑම ආකාරයක අසාධාරණයක් නිසි පරිදි විසඳීමට සාධාරණ යාන්ත්‍රණයක් නොමැති තාක්, එම සමාජයේ ජාතික ආරක්ෂාව පවතින්නේ අවදානම් මට්ටමකය. කුලය, වර්ණය, ජාතිය, ආගම, භාෂාව හෝ ප්‍රාදේශීය භේදයකින් තොරව සෑම පුරවැසියෙකුටම සමාන යුක්තිය තහවුරු කිරීම සමබර ජාතියක් නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

අසාධාරණයන් දිගින් දිගටම පවතින විට, එය අන්තවාදී කණ්ඩායම්වලට ප්‍රයෝජනයට ගත හැකි දුක්ගැනවිලි බවට පත්වේ. එමඟින් ජනවාර්ගික හා ආගමික ධ්‍රැවීකරණය වර්ධනය වන අතර, රාජ්‍යයේ නීත්‍යානුකූලභාවය පිරිහී, සමස්ත සමාජයම අභ්‍යන්තර ගැටුම්වලට මෙන්ම බාහිර බලපෑම්වලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි වේ.

මානව සංවර්ධනයේ ද්විත්ව මානයන්

යුක්තිය, සමතාවය, නිදහස, ආරක්ෂාව, සදාචාරාත්මක මාර්ගෝපදේශනය සහ නිසි පාලනය යන සියල්ල එකිනෙක බද්ධ වූ විට සමාජයක සම්පූර්ණ මානව සංවර්ධනය උදාවේ. පූර්ණ මානව සංවර්ධනය සඳහා ප්‍රධාන මානයන් දෙකක් අවශ්‍ය වේ:

  1. භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනය: ජීවිතය පහසු කරවීම සඳහා.

  2. බුද්ධිමය සහ සංවේදී සංවර්ධනය: වගකීම්සහගත පුරවැසියන් බිහි කිරීම සඳහා.

මින් එක් මානයක් හෝ නොසලකා හරින සමාජයකින් බිහිවන්නේ, භෞතික පහසුකම් තිබුණද සදාචාරාත්මකව පිරිහුණු පුරවැසියන් හෝ ආධ්‍යාත්මිකව පොහොසත් වුවද භෞතිකව අසරණ වූ පුරවැසියන්ය. මේ තත්ත්වයන් දෙකම තිරසාර නොවේ.

එමෙන්ම, ගෝලීය භූ-දේශපාලනික තරගකාරීත්වය හමුවේ නිර්මාණය වන සමාජ-දේශපාලන ධ්‍රැවීකරණයන් දේශීයකරණය වීමෙන් රට ආරක්ෂා කරගත යුතුය. බාහිර බලවතුන් තම උපායමාර්ගික වාසි උදෙසා දේශීය බෙදීම් ප්‍රයෝජනයට ගනිමින්, අපගේ සමාජය තුළ ස්වාභාවිකව නොතිබූ ගැටුම් ආනයනය කිරීමට කටයුතු කරයි.

Sri Lanka's population growing at a slower pace, data suggests | Sri Lanka News | Ada Derana | Truth First

ශ්‍රී ලංකා සන්දර්භය

ශ්‍රී ලංකාව යනු මෙම යථාර්ථයට හොඳම උදාහරණයයි. උපායමාර්ගික භූගෝලීය පිහිටීමක්, ඉහළ සාක්ෂරතාවයක් සහ පොහොසත් සංස්කෘතික උරුමයක් හිමි මිලියන 22ක ජනගහනයක් සිටින ශ්‍රී ලංකාව, දශක තුනක සිවිල් යුද්ධයක්, ත්‍රස්ත ප්‍රහාර, දරුණු ආර්ථික බිඳවැටීම් සහ නිරන්තර දේශපාලන අස්ථාවරත්වයන්ට මුහුණ දුන්නේය.

මෙම අර්බුද ප්‍රධාන වශයෙන් බාහිර හමුදාමය තර්ජන නිසා ඇති වූ ඒවා නොවේ. ඒවා පහත සඳහන් මූලික අසමර්ථතාවන්හි ප්‍රතිඵල වේ:

  • සියලු ප්‍රජාවන් සඳහා යුක්තිය ස්ථාපිත කිරීමට අපොහොසත් වීම.

  • විවිධත්වය අගය කරන ඒකාබද්ධ ජාතික අනන්‍යතාවක් ගොඩනැඟීමට අපොහොසත් වීම.

  • වගකීම්සහගත පාලන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට නොහැකි වීම.

  • භූ-දේශපාලනික මැදිහත්වීම්වලින් රට ආරක්ෂා කරගැනීමට අසමත් වීම.

තර්ජන කළමනාකරණයේ සීමාවන්

ආරක්ෂාව මූලික කරගත් ප්‍රවේශයන් ක්‍රියාත්මක වන්නේ “අපට තර්ජනය කරන්නේ කවුද? අපි ඔවුන් නතර කරන්නේ කෙසේද?” යන පටු ප්‍රශ්න රාමුව තුළය. මෙමඟින් පහත සඳහන් අහිතකර ප්‍රතිඵල නිර්මාණය වේ:

  • නිරීක්ෂණය සහ පොලිස්කරණය: සුළුතර ප්‍රජාවන් ඇතුළු සමස්ත ජනගහනය දැඩි ලෙස නිරීක්ෂණයට ලක්කිරීම මඟින් නොසන්සුන්තාව සහ බිය ඇතිවීම.

  • හමුදාකරණය: ආයුධ සහ හමුදා යටිතල පහසුකම් සඳහා පමණක් අධික ලෙස ආයෝජනය කිරීම මඟින් සමාජ-ආර්ථික සංවර්ධනයට වෙන්කළ යුතු සම්පත් අහිමි වීම.

  • සමාජීය ධ්‍රැවීකරණය: අභ්‍යන්තර සහ බාහිර සතුරන් තෝරමින් “අප සහ ඔවුන්” (Us vs Them) යන විනාශකාරී මානසිකත්වය නිර්මාණය වීම.

  • විශ්වාසය ඛාදනය වීම: පුරවැසියන් තමන්ව සුරක්ෂිත කරනවාට වඩා නිරීක්ෂණයට ලක්කරන බව හැඟී යාමෙන් රාජ්‍යය සහ පුරවැසියා අතර ඇති සමාජ සම්මුතිය දුර්වල වීම.

ශ්‍රී ලංකාවේ අත්දැකීම් මඟින් මෙම ප්‍රවේශයේ ඇති අසාර්ථකත්වය පැහැදිලිව තහවුරු කරයි. 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ලැබූ හමුදාමය ජයග්‍රහණයෙන් පසුවද මූලික දුක්ගැනවිලි එලෙසම පැවතිණි. දැඩි ආරක්ෂක හා බුද්ධි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතිද්දී පවා 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු විය. විශාල ජාතික ආරක්ෂක යටිතල පහසුකම් පද්ධතියක් තිබියදීත් රට ආර්ථික වශයෙන් බිඳවැටුණි.

ආරක්ෂාව මූලික කරගත් ප්‍රවේශයන්ට අනාරක්ෂිතභාවයේ මූලික හේතු නිරාකරණය කළ නොහැක. මන්ද, ඒවා නිර්මාණය කර ඇත්තේ රෝගය මුලින්ම සුව කිරීමට නොව, රෝග ලක්ෂණ පාලනය කිරීමට පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here