හේමසිරිට සහ පූජිතට එරෙහි නඩුවල තීන්දුව අද ප්‍රකාශයට

0
2

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුවල තීන්දුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද (31) දහවල් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. ප්‍රහාරය වළක්වා නොගැනීම තුළින් සාපරාධී ලෙස වගකීම් පැහැරහරිමින් පුද්ගලයින් 275 දෙනෙකු ජීවිතක්ෂයට පත්කිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චෝදනා 855ක් යටතේ මොවුන්ට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකර තිබුණි.

මෙම නඩුව මුලින්ම විභාග කළ නාමල් බලල්ලේ, මොහොමඩ් ඉර්ෂඩීන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් 2022 වසරේ පෙබරවාරි 18 වනදා විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කරන ලදී. විත්ති වාචික කැඳවීමකින් තොරවම ලබාදුන් එම තීන්දුවෙන් විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ, ප්‍රහාරය පිළිබඳ නිශ්චිත තොරතුරු සැපයීමට එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඇතුළු එම සේවය අපොහොසත් වී ඇති පසුබිමක, විත්තිකරුවන්ගේ පැහැරහැරීම සම්බන්ධයෙන් වන සාපරාධී චේතනාව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි.

කෙසේ වෙතත්, මහාධිකරණයේ එම තීන්දුව අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල, 2024 නොවැම්බර් 05 වනදා විශේෂ නියෝගයක් නිකුත් කළේය. එමඟින් මහාධිකරණයේ පෙර තීන්දුව බලරහිත කෙරුණු අතර, නඩුවේ විත්තිවාචික කැඳවා එය නැවත විභාග කරන ලෙස නියම විය. ඒ අනුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් නව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දීර්ඝ ලෙස යළි විභාග කෙරුණු මෙම නඩු තීන්දුව මෙලෙස අද දින ප්‍රකාශයට පත් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here