ශ්‍රී ලංකාවට ADBයෙන් ඩොලර් මිලියන 200ක්

0
7

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය සහායක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) තීරණය කර තිබේ.

වෙළෙඳාම, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිපත්තිමය ණය වැඩසටහනක් යටතේ මෙම මුදල් ආධාරය හිමිවන අතර, ඉන් ඩොලර් මිලියන 100ක්ම වෙන් කර ඇත්තේ මැදපෙරදිග අර්බුදය නිසා රටට එල්ල වන ආර්ථික පීඩනය අවම කිරීමේ අතිරේක මූල්‍ය සහායක් ලෙසය.

දුරස්ථ ගැටුමක බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කිසිදු පවුලක් තවදුරටත් දරිද්‍රතාවයට ඇද වැටිය නොයුතු බව පෙන්වා දෙන ADB සභාපති මසතෝ කන්ඩා (Masato Kanda) මහතා, රැකියා අවස්ථා පුළුල් කිරීම සහ නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු බව සඳහන් කරයි.

මෙම විශේෂ ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ වෙළෙඳ පද්ධති නවීකරණය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ තරඟකාරීත්වය ඉහළ නැංවීම මෙන්ම අපනයන වර්ධනය කිරීම සඳහා වන පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙමඟින් අනාගතයේදී ඇතිවිය හැකි බාහිර ආර්ථික කම්පනවලට වඩාත් හොඳින් මුහුණ දීමේ හැකියාව ශ්‍රී ලංකාවට හිමිවන බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

මේ අතර, මැදපෙරදිග ගැටුමේ බලපෑම්වලට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ කාම්බෝජය යන රටවල් ද්විත්වය සඳහා සමස්තයක් ලෙස ඩොලර් මිලියන 450ක මූල්‍ය සහායක් වෙන් කිරීමට ද පියවර ගෙන ඇති අතර, ඒ අනුව කාම්බෝජයට ඩොලර් මිලියන 250ක මූල්‍ය සහායක් හිමිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here