ඇමරිකාවේ දරුණු රුධිර හිඟයක්. ජාතික මට්ටමේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.

0
2

ඇමරිකා එක්සත් ජනපදයේ රුධිර සංචිත දරුණු ලෙස පහත වැටීම හේතුවෙන් එරට රතු කුරුස (Red Cross) ආයතනය විසින් ජාතික රුධිර හිඟයක් ප්‍රකාශයට පත් කර තිබේ. වසර 150ක ඉතිහාසයක් තුළ ඇමරිකාවේ මෙවැනි බරපතළ තත්ත්වයක් උද්ගත වූයේ දෙවැනි වතාවට වන අතර, පසුගිය මාසය තුළ පමණක් එරට රුධිර සැපයුම සියයට 25කින් පහත වැටී ඇති බව වාර්තා වේ.

මෙම ග්‍රීෂ්ම සෘතුවේදී හටගත් ලැව්ගිනි සහ අධික උණුසුම් කාලගුණික තත්ත්වයන් මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. සාමාන්‍යයෙන් ග්‍රීෂ්ම සෘතුවේදී වාහන අනතුරු වැඩි වීම නිසා රෝහල්වල රුධිර ඉල්ලුම ඉහළ ගියත්, මෙවර පවතින දැඩි උණුසුම නිසා ජනයා ලේ දන් දීමට පැමිණීම සීමා වී තිබේ. මීට අමතරව, ලැව්ගිනි මැඬපැවැත්වීමට සම්පත් යෙදවීමට සිදුවීම සහ රට පුරා පැතිර ගිය ආහාර මඟින් බෝවන රෝග (Food-borne illnesses) වැනි තත්ත්වයන් ද මෙම අර්බුදය තවත් උග්‍ර කිරීමට හේතු වී ඇත.

ඇමරිකාවේ සමස්ත රුධිර සැපයුමෙන් 40%ක් සපයන ප්‍රධානම ආයතනය වන රතු කුරුස සංවිධානය, මේ වන විට සාමාන්‍ය ප්‍රමාණයට වඩා රුධිර ඒකක 3,500කට අධික ප්‍රමාණයක් රෝහල් වෙත බෙදාහරිමින් සිටී. පරිත්‍යාග කරන රුධිරය දින 42ක් ඇතුළත භාවිත කළ යුතු බැවින්, ඒවා විශාල වශයෙන් ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් ද නැත.

මේ වන විට හදිසි අවස්ථාවලදී බහුලවම භාවිත කරන ‘O’ කාණ්ඩය ඇතුළු සියලුම රුධිර කාණ්ඩ සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර, රුධිර හිඟය නිසා රෝගීන් වෙනත් වෛද්‍ය මධ්‍යස්ථාන වෙත මාරු කර යැවීමට සිදුවනු ඇතැයි රෝහල් බලධාරීහු බිය පළ කරති. රතු කුරුස ආයතනය මීට පෙර මෙවැනි ජාතික අර්බුදයක් ප්‍රකාශ කළේ 2022 කොවිඩ් වසංගත සමයේදීය. මේ අතර, කැනඩාවේ ද පසුගිය ජුනි මාසයේ සිට රුධිර සැපයුම 20%කින් පමණ පහත වැටී ඇති බව එරට රුධිර සේවය නිවේදනය කර ඇති අතර, ඊට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here