ඉදිරි මාස තුනක කාලය තුළ වර්ෂාපතනයක් නොලැබුණ ද, ලබුගම සහ කලටුවාව ජලාශවල දැනට පවතින ජල මට්ටම අඛණ්ඩ ජල සැපයුමක් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
එල්-නිනෝ (El Niño) කාලගුණික බලපෑම හේතුවෙන් එළඹෙන අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී අපේක්ෂිත ප්‍රමාණයට වඩා දැඩි වියළි කාලගුණයක් ඇති විය හැකි බවට අනාවැකි පළ වී තිබේ. කෙසේ වෙතත්, ජල සම්පාදන මණ්ඩලයේ විශේෂඥ වාර්තා පෙන්වා දෙන්නේ එම වියළි කාලගුණික තත්ත්වය හමුවේ වුවද, මෙම ජලාශ ද්විත්වයේ පවතින ජල ධාරිතාව ඉදිරි මාස තුන සඳහා ප්‍රමාණවත් වනු ඇති බවයි.
මේ හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ජල කප්පාදුවක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කරයි. ඒ අනුව ඉදිරි මාස දෙකක කාලය තුළ ජල සැපයුම පිළිබඳ කිසිදු අවදානමක් මතු නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ වුවද, පවතින දේශගුණික විපර්යාස හමුවේ ඉදිරියේදී මෙම තත්ත්වය වෙනස් වීමේ හැකියාවක් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

