දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) පස්වරු 3.30ත් රාත්‍රී 7.00ත් අතර යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතය. තේවාභරණ සහ සධාතුක කරඬුව වැඩම කරවීම සිදුකෙරෙන මෙම අවසන් මහා පෙරහර සඳහා, සාමාන්‍ය පේළි පෙරහරවලට වඩා විශාල අලිඇතුන් සංඛ්‍යාවක් සහ නර්තන කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ. මෙවර රන්දෝලි මහා පෙරහැරේ බස්නායක නිලමේවරයා වශයෙන් දෙවිනුවර ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන නුවන්ජිත් සෙල්ලහේවා මහතා ගමන් කිරීමට නියමිතව ඇත.
පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට ලක්වූ මෙම පෙරහර උත්සවයේ හයවන පේළි කාවඩි පෙරහර ඊයේ (28) පස්වරුවේ සාර්ථකව පවත්වා අවසන් කෙරිණි. ඊයේ පැවැති කාවඩි පෙරහර සඳහා කාවඩි කණ්ඩායම් 31ක්, නර්තන කණ්ඩායම් 32ක් සහ අලි ඇතුන් තිදෙනෙකු සහභාගී වී සිටි අතර, එහිදී සෑම කාවඩි කණ්ඩායමක් සඳහාම විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයා තිබීම කැපී පෙනුණි.
සම්ප්‍රදායික චාරිත්‍රවලට අනුව ඉකුත් 23 වැනිදා පැවැති පළමු පේළි පෙරහැරේ නිල බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංක මහතා ගමන් කළ අතර, අනෙකුත් පේළි පෙරහැරවල් සඳහා බස්නායක නිලමේ ලේකම් ලෙස කටයුතු කළ විශ්‍රාමික ග්‍රාම නිලධාරී රෝහණ ජයසිංහ මහතා බස්නායක නිලමේ වශයෙන් කටයුතු කර තිබේ.
වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මුළු පෙරහර මංගල්‍යය පුරාම දැඩි ආරක්ෂක රැකවල් යොදවා ඇත. දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පොලිස් නිලධාරීන් 1,200ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් 150ක්, බුද්ධි අංශ නිලධාරින් 200ක් සහ යුද හමුදා සාමාජිකයින් ද ඇතුළුව 1,700කට ආසන්න ආරක්ෂක බලඇණියක් පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් අනුයුක්ත කර තිබේ.

