ලබන වසරේ මාර්තු දක්වා ‘එල්නිනෝ’ අවදානමක්

0
3

‘එල්නිනෝ’ දේශගුණික සංසිද්ධිය හේතුවෙන් ඉදිරි මාසවලදී දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගොස් වැසි තත්ත්වය අඩු විය හැකි බැවින්, ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. ලබන වසරේ මාර්තු-අප්‍රේල් දක්වා තවත් මාස 8ක් හෝ 10ක් පුරා පැවතිය හැකි මෙම තත්ත්වය, එළඹෙන ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලයේදී අතිප්‍රබල මට්ටමකට වර්ධනය විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

කාලගුණ අනාවැකිවලට අනුව ඉදිරි දිනවලදී, විශේෂයෙන්ම ජූලි 29 වැනිදා බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ සුළු වර්ධනයක් බලාපොරොත්තු වේ. ජූලි අවසන් දිනවල සහ අගෝස්තු මුලදී එම ප්‍රදේශවලට අඩු-වැඩි වෙමින් වැසි පැවතියද, උතුරු, උතුරු මැද, නැඟෙනහිර පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශවල වැසි රහිත, දැඩි රස්නයක් සහිත කාලගුණයක් පවතිනු ඇත. මේ වන විටත් ත්‍රිකුණාමලය, වවුනියාව, මුලතීවු සහ මඩකලපුව ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, ඉදිරි දිනවලදී එය තවත් ඉහළ යාමට නියමිතය.

මේ හේතුවෙන් දැඩි සූර්ය රශ්මියක් පවතින දහවල් 2.00ත් සවස 4.00ත් අතර කාලය තුළ එළිමහන් වැඩබිම්වල රැඳී සිටීමෙන් හැකිතාක් වළකින ලෙසත්, සෙවණ ඇති ස්ථානවල රැඳෙමින් ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත් ජනතාවට දැනුම් දී සිටින අධ්‍යක්ෂ ජනරාල්වරයා, බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් සහ කුඩා ළමුන් එළිමහනට නිරාවරණය කිරීම හැකිතාක් සීමා කළ යුතු බවද පවසයි. සැප්තැම්බර් අග සහ ඔක්තෝබර් මාසවලදී ලැබෙන වැසි සමඟ වැව්වල ජල මට්ටම ඉහළ යා හැකි වුවද, ලබන වසරේ මුල් කාර්තුව සඳහා එම ජලය නිසි ලෙස කළමනාකරණය කරගත යුතුව තිබේ.

එසේම ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාත හෝ සුළි කුණාටු වැනි කැළඹිලි ස්වභාවයන් ඇති වුවහොත් සාමාන්‍යයට වඩා වැඩි තද වැසි ඇති විය හැකි අතර, දෙසැම්බර් මාසයේ ඊසානදිග මෝසම සමඟ උතුරු සහ නැඟෙනහිර පළාත්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ ඉඩකඩක් පැවතියද ඒ පිළිබඳ නිශ්චිත අනාවැකියක් පැවසීමට තවමත් නොහැකි බව හෙතෙම සඳහන් කළේය. තවද, අගෝස්තු සහ සැප්තැම්බර් මුල වැසි අඩුවීම නිසා ජල මූලාශ්‍ර සිඳී යා හැකි බැවින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ ජල කළමනාකරණ ලේකම් කාර්යාලය එක්ව මේ වන විටත් අවශ්‍ය ජල කළමනාකරණ කටයුතු සැලසුම් කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here