හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ කළමනාකරණය සම්බන්ධයෙන් ඕමානය සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් ඉහළ ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වූ බව ඉරානය ප්‍රකාශ කරයි. පසුගිය දිනවල ටෙහෙරාන් අගනුවරදී ඉරාන සහ ඕමාන විදේශ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡා පවත්වා තිබේ.
එහිදී දෙරටේම ස්වෛරී අයිතිවාසිකම්වලට පූර්ණ ගරුත්වයක් ලැබෙන පරිදි, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු වී ඇත.
මේ අතර, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) විසින් එක්සත් ජනපදයට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ අනවසරයෙන් විකල්ප නැව් මාර්ග ස්ථාපිත කිරීමට ඇමෙරිකාව කටයුතු කරමින් සිටින බවයි.
ටෙහෙරානය විසින් නිල වශයෙන් නම් කරන ලද නාවික මංතීරුවලින් බැහැරට වාණිජ නෞකා හරවා යැවීම මඟින්, එක්සත් ජනපදය හිතාමතාම දෙරට අතර පවතින අවබෝධතා ගිවිසුම් උල්ලංඝනය කරමින් සිටින බවද ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

