නවාතැන් නොගත්තත් ජනපති මන්දිර නඩත්තුවට 2025දී ලක්ෂ 320කට අධික මුදලක් වැයවෙයි!
2025 වර්ෂය තුළදී දිවයින පුරා පිහිටි ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද, ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ, අදාළ කාල සීමාව තුළ එම මන්දිරවල පවත්වා ඇත්තේ රැස්වීම් තුනක් පමණක් බවයි. කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටි මෙම ජනාධිපති මන්දිර හතෙහි විදුලිය, දුරකතන ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම වෙනුවෙන් එම වර්ෂයේදී රුපියල් 32,982,675 ක විශාල මුදලක් වැය කර තිබේ.
කෙසේ වුවද, කතරගම, මහියංගනය සහ බෙන්තොට යන මන්දිරවල 2025 වර්ෂය තුළ කිසිදු රැස්වීමක් පවත්වා හෝ කිසිවෙකු නවාතැන් ගෙන නොමැති බව විගණන වාර්තාව පෙන්වා දෙයි. එලෙස කිසිදු ප්‍රයෝජනයකට නොගත්ත ද, එම මන්දිර තුනෙහි දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් වියදම් සඳහා පමණක් රුපියල් 2,447,754 ක මුදලක් දරා ඇති බව ජාතික විගණන කාර්යාලය සිය වාර්තාව මඟින් වැඩිදුරටත් අනාවරණය කරයි.

