මානව හිමිකම් කොමිෂන් සභාවේ පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි

0
6

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL) දැනට පුරප්පාඩුව පවතින සාමාජික ධුරය සඳහා සුදුස්සන් තේරී පත් කරගැනීමේ අරමුණින් අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පැවරී ඇති බලතල අනුව මෙම බඳවා ගැනීම් සිදු කෙරේ. 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 3(1) වගන්තියට අනුව, මෙම කොමිසම මානව හිමිකම් ක්ෂේත්‍රය පිළිබඳව මනා දැනුමක් හෝ ප්‍රායෝගික පළපුරුද්දක් සහිත සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර, දැනට පවතින පුරප්පාඩුව පිරවීම මෙහි අරමුණයි.

මෙම ධුරය සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම් ලත් අයදුම්කරුවන් සිය අයදුම්පත් 2026 ජූලි මස 31 වනදා හෝ ඊට පෙර ලැබෙන සේ යොමු කළ යුතුය. අදාළ අයදුම්පත්‍ර ආකෘතිය පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ‘ක්ෂණික පිවිසුම්’ (Quick Links) ඔස්සේ “ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම” යන ශීර්ෂය යටතේ බාගත කරගත හැකිය. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්, “වැඩබලන මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනය (E-mail) වෙත යොමු කළ යුතු වේ.

විශේෂයෙන්ම, මෙම පුරප්පාඩු වෙනුවෙන් මීට පෙර 2026 අප්‍රේල් 24 වන දින පුවත්පත් සහ ගැසට් පත්‍ර මඟින් ප්‍රසිද්ධ කරන ලද දැන්වීමට අනුව අයදුම්පත් ඉදිරිපත් කළ අයදුම්කරුවන් සිටී නම්, ඔවුන් ද මෙම තේරීම් ක්‍රියාවලිය සඳහා නව අයදුම්පත්‍රයක් නැවත ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වැඩිදුරටත් දන්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here