ඉන්දියාව සිය ප්‍රථම ඩෙංගු එන්නත ලෙස ‘QDENGA’ එන්නත භාවිතය සඳහා එරට ඖෂධ පාලක ජෙනරාල්වරයාගේ නිල අනුමැතිය ලබාගෙන තිබේ. වයස අවුරුදු 4 සිට 60 දක්වා පුද්ගලයින් සඳහා නිර්දේශිත මෙම එන්නත, මීට පෙර ඩෙංගු වැළඳී තිබූ හෝ නොතිබූ ඕනෑම අයෙකුට ලබාගත හැකි වීම විශේෂත්වයකි. එමෙන්ම, මෙම එන්නත ලබාදීමට පෙර කිසිදු පූර්ව රුධිර හෝ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවන අතර, මාස තුනක කාල පරතරයක් සහිතව මිලිලීටර් 0.5ක මාත්‍රා දෙකක් ලෙස මෙය ශරීරගත කරනු ලබයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පූර්ව සුදුසුකම් ද ලබා ඇති ‘QDENGA’ එන්නතෙහි ජාත්‍යන්තර ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ඵලදායීතාවය මේ වන විටත් තහවුරු කර ඇත. ඒ අනුව, 2022 වසරේ සිට මේ දක්වා ලොව පුරා රටවල් 43ක මෙම එන්නත අනුමත කර ඇති අතර, ගෝලීය වශයෙන් මාත්‍රා මිලියන 32කට වඩා බෙදා හැර තිබේ. පූර්ව පරීක්ෂණ අවශ්‍ය නොවන බැවින්, ඩෙංගු රෝගය බහුලව ව්‍යාප්ත වන කලාපවල මහජන ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සඳහා මෙම එන්නත ඇතුළත් කිරීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත.
මෙම එන්නත සඳහා ඉන්දියාවේ අනුමැතිය හිමිවීම ඩෙංගු මර්දනයේ දැවැන්ත පියවරක් ලෙස එරට මාධ්‍ය වාර්තා කර සිටී. මෙම ඓතිහාසික අනුමැතිය ලැබී ඇත්තේ ඩෙංගු බහුලව පවතින සහ නොමැති කලාපවල පුද්ගලයින් 28,000කගේ සහභාගීත්වයෙන් අදියර I, II සහ III යටතේ පවත්වන ලද සායනික පරීක්ෂණ 19ක සාර්ථක ප්‍රතිඵලවලින් පසුවය. විශේෂයෙන්ම, ඉන්දියාව තුළම පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය ඇගයීමට ලක් කරමින් පවත්වන ලද ‘Phase III DEN-302’ සායනික පරීක්ෂණයේ සාර්ථකත්වය ද මෙම අනුමැතිය හිමිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

