ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව, වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,044 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (19) දිනයේදී පමණක් අලුතින් රෝගීන් 2,652 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, පවතින අවදානම් තත්ත්වය හමුවේ දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත.
පසුගිය මාස කිහිපය තිස්සේ රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර, මැයි මාසයේදී රෝගීන් 8,590ක් ද, ජූනි මාසයේදී රෝගීන් 21,537ක් සහ ජූලි මාසයේ ගතවූ දින 19 තුළ පමණක් රෝගීන් 20,666 ක් වශයෙන් වාර්තා වී තිබේ. මෙම වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 53 ක් සිදුවී ඇති අතර, රෝගීන් මියයෑමේ අනුපාතිකය සියයට 0.07ක් ලෙස සටහන් වේ.
පළාත් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, එය මුළු රෝගීන්ගෙන් සියයට 52.61ක්, එනම් රෝගීන් 40,009කි. මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 11,707 ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,431ක් ද වාර්තා වී තිබේ. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 15,910කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,110ක් වාර්තා වන අතර ඉන් 3,073ක්ම හඳුනාගෙන ඇත්තේ කොළඹ මහා නගර සභා බලප්‍රදේශයෙනි. සෙසු දිස්ත්‍රික්ක අතරින් මාතරින් රෝගීන් 5,330ක්, මහනුවරින් 5,111ක් සහ කළුතරින් රෝගීන් 5,010ක් ලෙස ඉහළ අගයන් වාර්තා වී ඇත.
පවතින වර්ෂාපතනයත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන තවදුරටත් වැඩිවීමේ අවදානමක් පවතින බැවින්, තමන් ජීවත් වන වටපිටාව පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම, කිසියම් අයෙකුට උණ රෝග ලක්ෂණ ඇත්නම් නිවෙස් තුළ රැඳී සිටිමින් ස්වයං ප්‍රතිකාර නොකර, වහාම සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ද දැඩි ලෙස අවධාරණය කර සිටියි.

