හෝමුස් සමුද්‍රසන්ධිය ආසන්නයේ පවතින ඉරාන අවි බලය මර්දනය කිරීමේ අරමුණින් යුතුව, ඇමරිකානු බලඇණි විසින් අඛණ්ඩව හයවැනි දිනටත් දකුණු ඉරානයේ නගර රැසකට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයන්හිදී සිවිල් වැසියන් ජීවත් වන ප්‍රදේශ ද ඉලක්ක වී ඇති බවට ඉරානය පාර්ශවයෙන් බරපතළ චෝදනා එල්ල වේ. ඉරාන නිල වාර්තාවලට අනුව, එල්ල වූ ප්‍රහාර හේතුවෙන් හෝර්මෝස්ගන් කලාපයේ ප්‍රධාන පාලම් 5ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, දකුණු ඉරානයේ පිහිටි ප්‍රධාන විදුලි සැපයුම් මධ්‍යස්ථානයකට ද දැඩි හානි සිදුව ඇත. මෙම තත්ත්වය හමුවේ මතුව ඇති බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඉරාන රජය එරට ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් ද කර තිබේ.
මෙම වර්ධනයන් කරළියට පැමිණෙන්නේ, ඉරානයේ පාලම් සහ විදුලි සැපයුම් පද්ධති ඉලක්ක කර ගනිමින් ඉදිරි සතියේ සිට දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා සිදුකළ තර්ජනාත්මක ප්‍රකාශයකින් අනතුරුවය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි පෙන්වා දෙන්නේ, මෙලෙස සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීම හරහා ඇමරිකාව ඉරානය තුළ පැහැදිලිවම යුද අපරාධ සිදුකරමින් සිටින බවයි. 1949 ජිනීවා සම්මුතියට අනුව ද සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම යුද අපරාධයක් ලෙස නිර්වචනය කර ඇත. මේ අතර, ඇමරිකානු ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද අසල්වැසි රටවල පිහිටි ඇමරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, එවැනි එක් ප්‍රහාරයකින් කුවේට් රාජ්‍යයේ පිහිටි ස්ථානයක දරුණු ගින්නක් ද හටගෙන තිබේ.
කලාපීය නොසන්සුන්තාව තවදුරටත් උග්‍ර කරමින්, යේමනයට ඔබ්බෙන් වූ ඒඩන් බොක්කේ යාත්‍රා කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය රැගත් නෞකාවක් සිය භාරයට ගැනීමට සන්නද්ධ කල්ලියක් සමත්ව ඇත. සෝමාලියාව බලා ගමන් කරමින් තිබූ මෙම නෞකාව පැහැරගැනීමට ලක්ව ඇත්තේ, යේමනයේ හූති කැරලිකරුවන් යොදවා රතු මුහුදේ නාවික ගමනාගමනය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට ඉරානයේ අවධානය යොමුව ඇති බවට වාර්තා පළවන පසුබිමක වීම විශේෂත්වයකි.

