දකුණු ආසියාවේ දීර්ඝතම වාරි උමං කැණීම නිමවෙයි

0
10

ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසය නව මාවතකට යොමු කරමින්, දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු සාර්ථකව අවසන් කිරීම අද (15) සිදු කෙරේ. දශක හයකට ආසන්න කාලයක් තිස්සේ සැලසුම් කරන ලද ඓතිහාසික මහවැලි මහ සැලැස්මේ ප්‍රධානතම අදියරක් වන ‘උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතියට’ අයත්, කිලෝමීටර් 27.7ක් දිගැති මෙම යෝධ වාරි උමග අද දිනයේ ජනතා අයිතියට පත්කිරීමට නියමිතය. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ මෙම දැවැන්ත ව්‍යාපෘතිය නිමවා ඇත.

ඉංජිනේරු ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙම උමගේ කැණීම් කටයුතු සඳහා නවීන Tunnel Boring Machine (TBM) යන්ත්‍ර දෙකක් භාවිත කර තිබේ. මහමීගස්වැව සහ කොදුරුවාව යන ප්‍රදේශවලින් එකවර ආරම්භ කළ මෙම කැණීම් කටයුතු අද පොළොව යටදී එකිනෙක හමුවීමත් සමඟ සාර්ථකව නිමාවට පත්වන අතර, ඉංජිනේරු විද්‍යාවේදී මෙය “Tunnel Breakthrough” ලෙස හඳුන්වනු ලබයි. සමස්තයක් ලෙස කිලෝමීටර් 240කට ආසන්න දිගකින් යුත් උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතිය මඟින් මහා වාරි පද්ධති 12ක් සහ එල්ලංගා පද්ධති 130කට අයත් වැව් 1,505ක් පෝෂණය කිරීමට සැලසුම් කර ඇත.

මෙම දැවැන්ත වාරි ව්‍යාපෘතිය හරහා කෘෂිකාර්මික හා සමාජීය ක්ෂේත්‍ර රැසක විශාල පුනරුදයක් අපේක්ෂා කෙරේ. ඒ අනුව පවුල් 25,000කට සෘජු ප්‍රතිලාභ හිමිවන අතර, හෙක්ටයාර 74,000ක වගාබිම් යල සහ මහ කන්න දෙකෙහිම අස්වැද්දීම සඳහා අවශ්‍ය ජලය සැපයීමට මේ හරහා හැකියාව ලැබෙනු ඇත. මීට අමතරව, රජරට වැසියන් දශක ගණනාවක් තිස්සේ පීඩා විඳින හඳුනා නොගත් වකුගඩු රෝගය (CKDu) පාලනය කිරීම වෙනුවෙන් වසරකට ජල ඝන මීටර් මිලියන 70ක් මුදාහැරීමට නියමිත අතර, එමඟින් මිලියන 1.5කට ආසන්න ජනතාවකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාව ද සපුරාලීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here