එල් නිනෝ නවතම තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

0
11

පැසිපික් සාගරය ආශ්‍රිතව හටගෙන ඇති ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික සංසිද්ධිය මේ වන විට ආරම්භ වී දුර්වල මට්ටමක පැවතුණද, ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එය ප්‍රබල විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගෝලීය කාලගුණ අනාවැකිවලට අනුව ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසකට මෙයින් බලපෑම් එල්ල විය හැකි බව පෙන්වා දෙන එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා, මෙම වසරේ නොවැම්බර් සිට 2027 ජනවාරි දක්වා කාලය තුළ එය ඉතා ප්‍රබල මට්ටමක් දක්වා වර්ධනය වීමේ 63%ක සම්භාවිතාවක් පවතින බව සඳහන් කළේය. කෙසේ වෙතත්, අමෙරිකානු සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය (NOAA) පෙන්වා දෙන්නේ මෙය ඉතා ප්‍රබල තත්ත්වයකට පත් නොවීමේ තුනෙන් එකක (1/3) සම්භාවිතාවක් ද පවතින බවයි.

මෙම දේශගුණික විපර්යාසය හේතුවෙන් දැනට පවතින නිරිතදිග මෝසම් වැසි ප්‍රමාණය අඩුවිය හැකි නමුත්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී සාමාන්‍යයෙන් ලැබෙන මට්ටමට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය. මේ නිසා පවතින ජල ධාරිතාව දැඩි ලෙස කළමනාකරණය කිරීමට පියවර ගන්නා අතර, ඉදිරි වගා කටයුතු සැලසුම් කිරීම, විදුලි බලශක්ති උත්පාදනය සහ පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම වැනි අංශ සඳහා ජලය අරපිරිමැස්මෙන් හා ක්‍රමවත්ව භාවිත කිරීම අත්‍යවශ්‍ය වනු ඇත.

මේ අතර, පවතින තත්ත්වයට සාර්ථකව මුහුණදීම සඳහා සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ කරගනිමින් ඉදිරි සති දෙක ඇතුළත විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පැවසීය. එමෙන්ම ‘එල් නිනෝ’ බලපෑමෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ඉදිරි මහ කන්නයේ වගා කටයුතු නියමිත කාලයට පෙර ආරම්භ කරන ලෙස ද අමාත්‍යවරයා ගොවි ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here