මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 වර්ෂය සඳහා වන උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික කළුතර බෝධිය අභියසදී ඊයෙ (09) පස්වරුවේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඊයේ සිට එළැඹෙන ජූලි 22 වැනිදා දක්වා කළුතර කළු ගඟේ ස්ථාපිත උදකුක්ඛේප සීමා මාලකයේදී මෙම උපසම්පදා විනයකර්මයන් පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා සාමණේර හිමිවරුන් 400කට අධික පිරිසක් සහභාගි විය. සාමාන්‍යයෙන් වසර තුනකට වරක් පැවැත්වෙන මෙම රාජ්‍ය උපසම්පදා විනය කර්මය මෙවර පැවැත්වෙන්නේ වසර නවයකට පසුව වීම සුවිශේෂී කරුණකි. මෙම උත්සවය සංවිධානය කෙරුණේ, පසුගිය ජනවාරි 01 වැනිදා ජනාධිපතිවරයා නව වසරේ ආශීර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේදී අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනායක හිමිපාණන් වහන්සේ කළ ඉල්ලීමකට අනුව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතවය.
මෙම අවස්ථාවට එක්වෙමින් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කළේ, වත්මන් රජය සිය රාජ්‍ය පාලනයේදී නිරන්තරයෙන්ම මහා සංඝරත්නයේ අවවාද සහ මඟපෙන්වීම් ලබා ගන්නා බවයි. බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා රජයක් ලෙස කළ යුතු සියලු මැදිහත්වීම් නොඅඩුව ඉටු කිරීමට තමන් කැපවී සිටින බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙහිදී අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි මහනාහිමි සහ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනාහිමි යන හිමිපාණන් වහන්සේලා විසින් විශේෂ අනුශාසනාවන් සිදු කළ අතර, ජනාධිපතිවරයා වෙත “අමරපුර ශාස්ත්‍රීය සංග්‍රහය” පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.
මෙම ආගමික මහෝත්සවය සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩම කර සිටි අතර දේශපාලන සහ රාජ්‍ය අංශයේ ප්‍රභූවරු රැසක් ද සහභාගී වූහ. ඒ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර සහ හිටපු කථානායක කරු ජයසූරිය යන මහත්වරු ද වූහ. මීට අමතරව කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, අමරපුර මහා සංඝ සභාවේ දායක සභාවේ සභාපති අජිත් ද සොයිසා මහතා ඇතුළු නිලධාරීන් සහ කළුතර බෝධිභාරකාර මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු දායක පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

