උතුරු කොරියානු අග්‍රාමාත්‍ය පක් තේ-සොන්ග් (Pak Thae-song) මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (10) පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් චීනයේ බෙයිජිං අගනුවර වෙත ළඟා විය.
උතුරු කොරියාවේ කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු මෙන්ම එරට රාජ්‍ය කටයුතු කොමිසමේ උප සභාපතිවරයා ද වන අගමැතිවරයා සමඟ උතුරු කොරියානු ආණ්ඩු පක්ෂයේ සහ රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටිති.
මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරයේ ප්‍රධානතම අරමුණ වන්නේ දෙරට අතර ඇති කරගත් “චීන-උතුරු කොරියා මිත්‍රත්වය, සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය සහාය පිළිබඳ ගිවිසුම” අත්සන් කර වසර 65ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති නිල සංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වීමයි.
උතුරු කොරියානු අග්‍රාමාත්‍යවරයාගේ මෙම පැමිණීම පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ, මෙම සංචාරය හරහා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව ඉදිරියටත් වඩාත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි

