මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය පුද්ගලයන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණවලට අදාළ සාක්ෂි කැඳවීම් මේ වන විට අවසන් කර තිබේ.
පොලිසිය පැවසුවේ සිදු කළ පරීක්ෂණවලදී මරණකරුන්ගෙන් 14 දෙනෙකු වෙඩි වැදීමෙන් සහ 9 දෙනෙකු පහරදීම් හේතුවෙන් මියගොස් ඇති බව අනාවරණය වී ඇති බවත්, එක් රැඳවියකුගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
මීගමුව රෝහලේදී මියගිය සමස්ත පුද්ගලයන් 28 දෙනාගෙන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණ කටයුතු මෙලෙස අවසන් කර මෘතදේහයන් ඥාතීන්ට භාර දී ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් පැවසුණි.
ඉන්දීය ජාතිකයෙකුගේ මෘතදේහයක් ද ඇතුළුව තවත් මෘතදේහයන් හතරක් සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, මෙම සිද්ධිය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (08) දින මියගිය බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධයෙන් අද දින මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, ඔහුගේ මරණයට අදාළ සාක්ෂි කැඳවීම් ද අද (09) දින අවසන් කර ඇති බවයි පොලිසිය සඳහන් කරයි.

