උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය මිහිදන් කෙරේ

0
18

ඉරානයේ සහ අසල්වැසි ඉරාකයේ නගර කිහිපයක දින හයක් පුරා පැවැති මහජන ශෝක උත්සවයන්ගෙන් අනතුරුව, ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවසන් ආගමික කටයුතු නිම කරමින් ඔහුගේ දේහය මිහිදන් කර තිබේ. දේහය මිහිදන් කිරීම සිදු කෙරුණේ ශියා මුස්ලිම්වරුන්ගේ පූජනීයම ස්ථානයක් වන මෂ්හද් නගරයේ පිහිටි ඉමාම් රෙසා දේවස්ථානයේදීය. අද උදෑසන ඉරාකයේ සිට මෂ්හද් නගරය වෙත ළඟා වූ විශේෂ ගුවන් යානයකින් අයතුල්ලා අලි කමේනිගේ දේහය සමඟ ඔහුගේ දියණිය, මිණිබිරිය, බෑණනුවන් සහ මොජ්තාබාගේ බිරිඳගේ දේහයන් ද රැගෙන විත් තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන අවස්ථාවේදී අමෙරිකාව සහ ඉරානය අතර යළිත් වරක් ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති අතර, එම තත්ත්වය කමේනිගේ මරණයට හේතු වූ යුද්ධය අවසන් කිරීම සඳහා පැවති මූලික එකඟතා කෙරෙහිද දැඩි බලපෑම් එල්ල කළ හැකි බව වාර්තා වේ. මේ අතර, ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය චෝදනා කර සිටින්නේ අවමංගල්‍ය උත්සවයට බාධා කිරීමේ අරමුණින් ටෙහෙරානය සහ මෂ්හද් නගරය සම්බන්ධ කරන දුම්රිය මාර්ගයේ පාලම් දෙකකට අමෙරිකාව විසින් එක රැයකින් බෝම්බ හෙලූ බවයි.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවසට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අයතුල්ලා අලි කමේනි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු මියගිය අතර, ඉන් පසුව නව උත්තරීතර නායක ධුරයට ඔහුගේ පුත් මොජ්තාබා කමේනි පත්කරනු ලැබීය. එහෙත් එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ බවට වාර්තා වීමෙන් පසු මොජ්තාබා කමේනි මෙතෙක් මහජනතාව ඉදිරියේ පෙනී සිට නොමැත. ඔහු ටෙහෙරානය සහ කොම් නගරවල පැවැති අවමංගල්‍ය උත්සවවලට සහභාගි නොවූ අතර, මෂ්හද්හි පැවැති අවසන් මිහිදන් කිරීමේ අවස්ථාවට හෝ ඔහු සහභාගි වූ බවට කිසිදු නිල තහවුරු කිරීමක් නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here