පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ හදිසි නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ, එම පරිශ්‍රය තුළ තවදුරටත් රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය විසින් තීරණය කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අදාළ ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් අනතුරුව මීගමුව බන්ධනාගාර පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව ඇති බැවින්, වත්මන් තත්ත්වය යටතේ එම බන්ධනාගාරය ‘අපරාධ ස්ථානයක්’ (Crime Scene) ලෙස සලකනු ලබන බවයි.
ඒ අනුව මෙම තීරණයට මුල් වූ ප්‍රධාන කරුණු කිහිපයක් අමාත්‍යාංශය පෙන්වා දෙයි:
-
විමර්ශන කටයුතු: විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයෙහි කිසිදු බාධාවකින් තොරව සහ ආරක්ෂිතව සිය පරීක්ෂණ කටයුතු සිදු කිරීමට ඉඩ සැලසීම.
-
රැඳවියන්ගේ ආරක්ෂාව: දැනට එහි සිටින රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම.
-
ප්‍රතිසංස්කරණ කටයුතු: විමර්ශන කටයුතු අවසන් වූ සැනින්, විනාශයට පත් මීගමුව බන්ධනාගාර පරිශ්‍රය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කිරීම.
මෙම අරමුණු සාක්ෂාත් කරගනු වස්, මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන්ගෙන් බහුතරයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍රයන් වෙත තාවකාලිකව මාරු කිරීමට පියවර ගෙන ඇත.
කෙසේ වුවද, දැනට දිවයිනේ පවතින බන්ධනාගාරවල පවතින අධික සිර ඝනත්වය (තදබදය) සහ රැඳවියන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව සැලකිලිමත් වීමේදී, ඔවුන් වෙනත් සාමාන්‍ය බන්ධනාගාරවලට පමණක් ඇතුළත් කිරීම ප්‍රමාණවත් නොවන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. එම නිසා, තාවකාලික පදනම මත වෙනත් සුදුසු පරිශ්‍රයන් වෙත රැඳවියන්ගෙන් යම් ප්‍රමාණයක් විතැන් කිරීමේ හදිසි අවශ්‍යතාවක් පැන නැඟී තිබේ.
ඒ අනුව, මීගමුව බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමාවන තුරු, තාවකාලික පදනම මත “මහමෝදර” සහ “පැරණි බෝගම්බර” යන පරිශ්‍රයන් බන්ධනාගාර ආඥා පනතේ කාර්යයන් සඳහා බන්ධනාගාර ලෙස පිහිටුවීමට අවශ්‍ය නියමයන් නිකුත් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

