දකුණු චීනයේ නෑනින් (Nanning) නගරයේ වේල්ලක් බිඳී යාමෙන් සිදු වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය බහුතරය මේ හේතුවෙන් නගරය ජලයෙන් යටවීම නිසා ජීවිතක්ෂයට පත්වූවන් වේ. මේ විපත්තියට හේතු වූයේ ‘මයිසැක්’ (Maysak) නිවර්තන කුණාටුවයි.
මීට පෙර පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වී තිබූ අතර, වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් ජලාශ උතුරා ගොස් ගුවැන්ෂි (Guangxi) කලාපයේ නගර සහ ගම්මාන හරහා සැඩ ජල පහරවල් ගලා යාමෙන් පසුව මරණ සංඛ්‍යාව මෙලෙස සීඝ්‍රයෙන් ඉහළ ගිය බව නගරයේ නියෝජ්‍ය නගරාධිපති ඩිං වේයි (Ding Wei) බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
මෙම කලාපයෙන් 130,000 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇති අතර, ජලයෙන් කොටු වී සිටින ජනතාව වෙත ළඟා වීම සඳහා ඩ්‍රෝන යානා සහ දහස් සංඛ්‍යාත බෝට්ටු උපයෝගී කරගනිමින් දැවැන්ත සහන සහ මුදවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇත.
දකුණු ගුවැන්ෂි කලාපයට දින ගණනාවක් තිස්සේ ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් සමහර ප්‍රදේශවලට සෙන්ටිමීටර 10-40 ත් (අඟල් 4-16) අතර සමුච්චිත වර්ෂාපතනයක් ද, දැඩි බලපෑමක් එල්ල වූ ප්‍රදේශවලට සෙන්ටිමීටර 90 කට (අඟල් 35) වඩා වැඩි වර්ෂාපතනයක් ද වාර්තා වූ බව ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසයි.
විපතට පත්වූවන් වෙත ළඟා වීම සඳහා මුදවාගැනීමේ කණ්ඩායම් සැඩ ජල පහරවල් සහ සුන්බුන් සමඟ සටන් වදින අතර, මෙම මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා පුද්ගලයන් 8,000 කට අධික සංඛ්‍යාවක් සහ බෝට්ටු 5,700 කට ආසන්න ප්‍රමාණයක් යොදවා ඇත.
ගංවතුර තත්ත්වය මේ වන විට බැස යමින් පවතින නමුත් ඉදිරි දින දෙක තුළ ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් වැසි අපේක්ෂා කළ හැකි බව ඩිං වේයි මහතා වැඩිදුරටත් සඳහන් කළේය

