ශ්‍රී ලංකාවේ මහල් නිවාස සංකීර්ණ සහ සහාධිපත්‍ය දේපළ පාලනය, නියාමනය මෙන්ම නඩත්තු කටයුතු අධීක්ෂණය කිරීමේ ප්‍රධාන වගකීම පැවරී ඇති සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව නිල වෙබ් අඩවිය ඊයේ (04) නිල වශයෙන් ජනගත කෙරිණි.
මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුත් සහ පහසු සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් මෙම නව වෙබ් අඩවිය නිර්මාණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මීට සමගාමීව එළඹෙන අගෝස්තු මාසයේ සිට එම අධිකාරියේ සියලුම සේවා කටයුතු පූර්ණ ලෙස ඩිජිටල්කරණයට ලක් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නැංවීමට නියමිතය.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා නාගරික සංවර්ධන, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.

