හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
චෝදනා කිහිපයක් මුල් කරගනිමින් අද පෙ.ව. 10.05 ට පමණ අල්ලස් කොමිෂන් සභා පරිශ්‍රයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, ඉන් අනතුරුව ඒ මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.
වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාවක් වන්නේ, 2006 වසරේ නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාව නීති විරෝධී ලෙස එම තනතුරට බඳවා ගැනීමයි.
මීට අමතරව, එවකට පැවති පිළිගත් රාජ්‍ය ක්‍රමවේදයන්ගෙන් බැහැර වෙමින් රජයේ මුදල් වැය කර, යෝෂිත රාජපක්ෂ මහතාට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ විශේෂ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම ද ඔහුට එරෙහිව ඇති අනෙක් චෝදනාව වේ.

