සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (03) ඇන්ටිගුවාහිදී ආරම්භ වීමට නියමිතව තිබේ. පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 217ක දැවැන්ත පරාජයකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේදී ප්‍රබල අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇත්තේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ආබාධවලට ලක්ව සිටීම හේතුවෙනි. මේ හේතුවෙන් අවසන් එකොළොස් දෙනා තේරීම සඳහා ශ්‍රී ලංකා සංචිතය සතු වන්නේ ක්‍රීඩකයින් 13 දෙනෙකු පමණක් බව වාර්තා වේ.
කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී, ප්‍රධාන වේගපන්දු යවන්නන් වන ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනාම ආබාධ නිසා තරගයෙන් ඉවතට විසිවී ඇත.
එමෙන්ම ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ඔහු වෙනුවට ළහිරු උදාර ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතය. මීට අමතරව, බැක්ටීරියා ආසාදනයකට ගොදුරු වී සිටින රමේෂ් මෙන්ඩිස්ට ද මෙම තරගය අහිමි වන අතර, කසුන් රාජිත ක්‍රීඩා කිරීම ද අවිනිශ්චිත මට්ටමක පවතී.
මෙම පුරප්පාඩු හේතුවෙන් ඉසිත් විජේසුන්දරට අද දිනයේදී ටෙස්ට් වරම් හිමිවීමට වැඩි ඉඩක් පවතින අතර, කණ්ඩායමේ විශේෂඥ දඟපන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත බව තහවුරු වී තිබේ.

