චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹදී පැවැති විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා ප්‍රකාශ කළේ, මෙරට සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදීමට චීනය සූදානම් බවයි.
ඊයේ (01) පැවැති මෙම උත්සවය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ‘සර්වජන බලය’ නායක දිලිත් ජයවීර, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන් ඇතුළු වත්මන් සහ හිටපු මැතිඇමැතිවරුන් රැසක් එක්ව සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා මෙසේ ද පැවසීය
“චීන ජනාධිපති ෂී ජින්පින් සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර පැවැති සාර්ථක සාකච්ඡාවලින් පසු දෙරටේ සබඳතා පිළිබඳ නව සැලැස්මක් සකස් කර තිබෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ සමඟ ශක්තිමත් සබඳතා පැවැත්වීමට කැමැත්තෙන් පසුවනවා. දෙරට අතර ඇති කරගත් එකඟතාවලට අනුව, ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කිරීමට සහ ඩිජිටල් නගර ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා සහය වෙමින් මෙරට සංවර්ධනය වෙනුවෙන් ඉහළම දායකත්වය ලබාදීමට චීනය නිරන්තරයෙන්ම කැපවී සිටිනවා.”

