රුපියල් මිලියන 555කට අධික ආයෝජනයකින් කළුබෝවිල ශික්ෂණ රෝහලට අති නවීන Cath Lab, DSA හා Lithotripsy ඒකක ප්‍රතිකාර සේවාවන්.

0
1

මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ  ස්ථාපිත කැත්ලැබ් රසායනාගාර ඒකක ප්‍රමාණය මෙම වර්ෂය අවසන්වීමට පෙර 26 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බවත්, මේවන විට රෝහල් පද්ධතිය තුළ කැත්ලැබ් ඒකක 10ක් ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කර ඇති බවත්, ඉදිරියේ දී තවත් කැත්ලැබ් ඒකක 16ක් සෞඛ්‍ය පද්ධතියට එකතුකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේය.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ, ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වූ, ජනතා කේන්ද්‍රීය සෞඛ්‍ය පද්ධතියක් බවට පරිවර්තනය කිරීමේ ජාතික වැඩපිළිවෙළට තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් එක් කරමින්, රුපියල් මිලියන 555ක අධික ආයෝජනයක් යටතේ කළුබෝවිල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද හෘද කැතීටරීකරණ රසායනාගාර ඒකකය (Cardiac Catheterization Laboratory – Cath Lab), ඩිජිටල්  ඇන්ජියෝග්‍රැෆි ඒකකය (Digital Subtraction Angiography – DSA Unit) සහ ලිතොට්‍රිප්සි ඒකකය (Lithotripsy Unit) ප්‍රතිකාර සේවාවන් සඳහා  අද (30) පෙරවරුවේ එක් කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙරට රෝහල් පද්ධතිය තුළ පවතින කැත් ලැබ් ප්‍රමාණය  10 සිට 26 දක්වා වැඩිකිරීම සඳහා රුපියල් මිලියන 3103 වැයකරන බවත්, මහ භාණ්ඩාරයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් මෙන්ම ජයිකා  සහන ණය ව්‍යාපෘතියේ මුදල් මේ සඳහා යොදවන බව ද පැවසීය.

කොළඹ, මහනුවර සහ ගාල්ල යන මෙරට ස්ථාපිත ජාතික රෝහල් ත්‍රිත්වයට සහ ඊට අමතරව මඩකලපුව, ත්‍රිකුණාමලය, බදුල්ල, රත්නපුර, අනුරාධපුරය, කුරුණෑගල, යාපනය යන ප්‍රධාන රෝහල්වලටද කැත්ලැබ් රසායනාගාර ඒකක ස්ථාපිත කරන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මේ සතිය තුළදී අළුතින් කැත්ලැබ් ඒකක හතරක් ප්‍රතිකාර සේවාවන් සදහා එක්වන බවත් එමගින්  පොරොත්තු ලේඛණ වල මාස ගණන් සිටින ජනතාවට කෙටි කාලයකින් අදාළ ප්‍රතිකාර සේවාවන් සැපයීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලාපොරොත්තුව බව ද  පැවසීය.

කැත්ලැබ් ඒකකයක් සඳහා රුපියල් මිලියන  300ක පමණ මුදලක් වැය කරන බවත්, නවීන තාක්ෂණයෙන් සමන්විතව ලබාදෙන උපකරණ උපරිම ධාරිතාවයකින් ප්‍රතිකාර සේවාවන් සඳහා යෙදවියයුතු බවත් සඳහන් කළ අමාත්‍යවරයා මෙම කැත්ලැබ් ඒකක ආසියාවේ තාක්ෂණය ඉහළින්ම පවතින ඒකකයන් බවද මෙහි දී පැවසීය.

එමෙන්ම ලක්ෂ 217ක්වන මෙරට ජනගහනයෙන් ලක්ෂ 48ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජීවත්වන බවත්, ලක්ෂ 25ක් ගම්පහ දිස්ත්‍රික්කයේත්, ලක්ෂ 23ක් කොළඹ දිස්ත්‍රික්කයේත් වාසය කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම ජනතාවට සාපේක්ෂව මෙම දිස්ත්‍රික්ක දෙකේ තෘතීයික මට්ටමේ තිබෙන රෝහල් ප්‍රමාණයේ යම් අඩුවක් පවතින බව ද පෙන්වා දුන්නේය.

අනෙකුත් දිස්ත්‍රික්කවල ජනතාවද ප්‍රතිකාර සේවාවන් සදහා කොළඹට සම්භන්ධවන නිසා ගම්පහට වඩා කොළඹට එය බලපාන බවත් සදහන්කළ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  ඉදිරි ජාතික සැලසුම්වලදී කොළඹ දිස්ත්‍රික්කයට තෘතීයික මට්ටමේ රෝහල් යම් ප්‍රමාණයක් එකතු  කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවද සඳහන් කළේ ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී අවධාරණය කර සිටියේ කොළඹ දිස්ත්‍රික්කය ජනතාවට පමණක් නොව කළුබෝවිල ශික්ෂණ රෝහල මඟින් දිවයිනේම ජනතාවට සේවාවන් සපයන බවයි. මෙම රෝහල දෙවෙනි වනවානම් දෙවෙනි වන්නේ යාපනය ශික්ෂණ රෝහලට පමණක් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම නවීන වෛද්‍ය ප්‍රතිකාර ඒකක ත්‍රිත්වය  ස්ථාපනය කිරීමත් සමඟ කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂිත ප්‍රතිකාර සේවා ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ යන අතර, දිවයින පුරා සිටින දහස් සංඛ්‍යාත රෝගීන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල, කාලෝචිත, ආරක්ෂිත හා උසස් තත්ත්වයේ ප්‍රතිකාර නොමිලේ ලබාදීමේ හැකියාව තවදුරටත් පුළුල් වනු ඇත.

මෙම ඒකකයන් ප්‍රතිකාර සේවාවන් සදහා එක්කිරීමේ අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණී සමන්මලී ගුණසිංහ, සෞඛ්‍ය හා  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, කළුබෝවිල ශික්ෂණ රෝහලේ හිටපු අධ්‍යක්ෂිකා මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සාගරි කිරිවන්දෙනිය, වත්මන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ලලිත් පොත්ගල්ගොඩ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සායි නිරන්ජන්,  ආසියානු සංවර්ධන බැංකුවේ සෞඛ්‍ය පද්ධති දියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක, යන මහත්ම මහත්මීන් මෙන්ම හිටපු අධ්‍යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩලය නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here