හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම අධිකරණය හමුවේ කැඳවයි.

0
2

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට අදාළව එහි වගඋත්තරකරුවන්ගෙන් තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පෙත්සම අද අභියාචනාධකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, පුද්ගලික හේතුන් මත තමන් මෙම නඩු විභාගයට සහභාගී නොවන බවය.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය.

කෙසේ වෙතත් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළ ලේඛන තමන්ට ලැබුණේ අද පෙරවරුවේ බවත් වගඋත්තරකරුවන්ගෙන් තමන්ට කිසිදු උපදෙසක් මේ දක්වා ලැබී නොමැති බවයි.

වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරව මෙම පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවාය.

ඉන් අනතුරුව මෙම සලකා බැලීම අද දහවල් දක්වා කල්තැබීමට අධිකරණය නියම කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here