රුපියල් පනස් එක් ලක්ෂ හතලිස් දහසක් වටිනා ජංගම දුරකථන තොගයක් සමඟ චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට.

0
91

චීන ජාතික ගුවන් මගීන් තිදෙනෙකු රුපියල් පනස් එක් ලක්ෂ හතලිස් දහසක් වටිනා ජංගම දුරකථන තොගයක් සහ ඒවා සදහා භාවිතා කෙරෙන බැටරි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී ඊයේ (19) රාත්‍රීයේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මේවා මෙරට තුළ සයිබර් අපරාධ සිදු කිරීම සදහා යොදා ගැනීමට සූදානම් වූ බවට සැක කෙරේ.

මොවුන් අතර 34 හැවිරිදි චීන ජාතික කාන්තාවක සහ 35 හැවිරිදි වියේ පසුවන චීන ජාතික පිරිමි ගුවන් මගීන් තිදෙනෙකු සිටිති.

ඔවුන් චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6017 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී මොවූන් තිදෙනා අතරින් පළමුවෙන්ම කටුනායක ගුවන් තොටුපොළ ” හරිත මාවත ” වෙත පිවිසි චීන ජාතික පිරිමි ගුවන් මගියා විසින් , ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් ලබා දෙන පොලිතීන් බෑග් අතර , රැගෙන පැමිණි කලු පැහැති
” ටියුලිප් ” වර්ගයයේ පොලිතීන් බෑගය පිළිබද සැක සිතූ රේගු නිලධාරීන්, එය පරීක්ෂා කිරීමේදී , ටොෆී , චොකලට් අතර සගවා ගෙන තිබූ , මෙම ජංගම දුරකථන තොගයෙන් පළමු කොටසක් සොයා ගෙන තිබුණි.

ඉන්පසුව ඔහුගේ සිරුර පරීක්ෂා කිරීමේදී , ඔහු ඇද සිටි ඇදුමට යටින් , විශේෂයෙන් සකස් කළ ජැකට්ටවක් තුළ ද ,
ඔහුට පසුපසින් පැමිණි චීන ජාතික කාන්තාව පැළද සිටි පාවහන් වල මේස් තුළ සහ අනෙක් චීන ජාතික ගුවන් මගියාගේ ගමන් මල්ල තුළ ද , ජංගම දුරකථන 87 ක් සහ ඒවාට යොදන බැටරි 140 ක් සගවා ගෙන තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු මොවුන් තිදෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා අදාල පොලිස් නිලධාරීවරුන් වෙත භාර දීමට පියවර ගනිමින් සිටිති.