දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ මෙරට වෙලාගෙන තිබූ කුරිරු එල්.ටී.ටී.ඊ. (LTTE) ත්‍රස්තවාදය යුදමය වශයෙන් මුළුමනින්ම පරාජයට පත්කර, මව්බිමට නිදහස උදාකර දුන් ඓතිහාසික විජයග්‍රහණයට අදට (මැයි 18) වසර 17ක් සපිරේ.
2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපු තීරයේදී, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වීරෝදාර රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකාව වෙලාගත් ඒ බිහිසුණු යුද්ධය නිල වශයෙන් නිමාවට පත් විය.
කුරිරු ත්‍රස්තවාදයේ මතකයන්
1975 වසරේ ජුලි 27 වනදා එවකට යාපනය නගරාධිපතිවරයාව සිටි ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා මහතා ඝාතනය කරමින් මෙරට දෙකඩ කිරීමේ මූලික පියවර තැබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය, පසුව දශක කිහිපයක් තිස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල මරාගෙන මැරෙන ප්‍රහාර සහ බෝම්බ ප්‍රහාර එල්ල කරමින් ලක්ෂ සංඛ්‍යාත අහිංසක මිනිස් ජීවිත විනාශ කිරීමට කටයුතු කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වැනි රටේ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කරමින් ඔවුන් මෙරට ආර්ථිකය අඩපණ කිරීමට උත්සාහ කළ අතර, බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු වූ ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට මෙන්ම අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට ද ප්‍රහාර එල්ල කරමින් තමන්ගේ මිලේච්ඡත්වය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කළේය.
මානුෂීය මෙහෙයුමේ ආරම්භය
නැගෙනහිර පළාතේ ගොවි ජනතාවගේ වගාවන් සඳහා ජලය සපයන ප්‍රධාන ජල මාර්ගය වූ මාවිල්ආරු සොරොව්ව වසා දමමින් ත්‍රස්තවාදීන් සිදුකළ මානව හිමිකම් උල්ලංඝනයත් සමඟින්, මව්බිම මුදාගැනීමේ අවසන් මහා මානුෂීය මෙහෙයුම ආරම්භ විය. ඒ අනුව වීරෝදාර රණවිරුවන් සේනාංක 8ක් ඔස්සේ, මාර්ග අටකින් ඉදිරියට ඇදෙමින් ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.
එහිදී ත්‍රස්තවාදීන් විසින් සිවිල් වැසියන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගනිමින් මිනිස් පළිහක් ලෙස භාවිත කළ ද, අපේ රණවිරුවන් සිය ජීවිත පරදුවට තබමින් එම අහිංසක ජනතාව මුදාගැනීමේ ලොව විශාලතම මානුෂීය මෙහෙයුම ද සාර්ථකව නිම කිරීමට සමත් විය.
“එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීම සඳහා එඩිතර දේශපාලන නායකත්වයක් දුන් එවකට පාලකයින්, ආරක්ෂක අංශ පරිපාලනය, හමුදා නායකයින් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකේය රණවිරුවන්ගේ අසමසම වීරත්වය සමස්ත ජාතියේම හදවත් තුළ සදා ජීවමාන වනු ඇත.”
ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය හෙට (19) බත්තරමුල්ලේදී
මේ අතර, යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන “ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” පෙර වර්ෂවල සේම මෙවර ද ඉතා අභිමානවත් අයුරින් හෙට දින පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන බව රණවිරු සේවා අධිකාරිය සඳහන් කරයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති, බ්‍රිගේඩියර් එස්.බී. කොහෝන මහතා ප්‍රකාශ කළේ, මෙවර සැමරුම් උත්සවය සඳහා විශේෂත්වයක් එක් කරමින් ප්‍රථම වතාවට උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද සහභාගී කරවා ගැනීමට කටයුතු යොදා ඇති බවයි.

