දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් පුත්තලම ජනතාවට ජනතාවට රු. මිලියන 318 ක වන්දි.

0
1

“මහජන මුදල් අවභාවිත කරන්න රජයට අයිතියක් නැහැ වගේ ම මහජනයාට අයිතියකුත් නැහැ.’’රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පැවසීය.

අමාත්‍ය අභයරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ දිට්වා ආපදාව හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානියට පත් නිවාස සහ කර්මාන්ත සඳහා වන්දි ලබාදීමේ විශේෂ වැඩසටහනකට ඊයේ (09) දින පුත්තලම දිස්ත්‍රික්කයේ පැවති අවස්ථාවකට සහභාගී වෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා “ඔබ ලබා ගන්න මේ මුදල් ජනාධිපතිතුමාවත්, අපි රජයවත් මේ අපේ දිශාපතිතුමාවත් අපි කවුරුත් ගෙදරින් ගෙනල්ලා දෙන මුදලක් නෙවෙයි. මහජන මුදල්. මහජන මුදල් අවභාවිත කරන්න රජයට අයිතියක් නැහැ වගේම මහජනයාට අයිතියකුත් නැහැ. මේ ඔබට දෙන මහජන මුදල් උපරිම ලෙස ඵලදාය ලෙස භාවිතා කිරීමේ අවශ්‍යතාවක් තියෙනවා. කර්මාන්ත සඳහා දෙන සහන පාවිච්චි කරලා ඒ කර්මාන්ත නැවත නගා සිටුව ගන්න ඕනේ. ව්‍යාපාර නැවත නගා සිටුව ගන්න ඕනේ. අපි හැමෝම එකතු වෙලා මේ රට මුහුණ දීලා තියෙන දුෂ්කර අවස්ථාවේදී රට ගොඩනැගීමට දායක වුණු වගකීම් සහගත පුරවැසියන් හැටියට කටයුතු කරමු” යැයි පැවසී ය.

මෙම වන්දි ප්‍රදාන වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 ක ප්‍රතිලාභීන් 228 දෙනෙකු වෙත රුපියල් මිලියන 318 කට අධික (සමස්ත වශයෙන් රු. 318,826,746.95 ක) වන්දි මුදලක් බෙදා දීමට පියවර ගෙන තිබුණි. මෙහිදී,
• පූර්ණ හානි වූ නිවාස 150ක් සඳහා රුපියල් මිලියන 300ක මුදලක් වෙන් කර ඇති අතර, රුපියල් මිලියන 5ක සම්පූර්ණ වන්දි මුදලේ පළමු අදියර ලෙස එක් නිවසකට රුපියල් 2,000,000 බැගින් පිරිනමන ලදී.

• අර්ධ හානි වූ ඇස්තමේන්තු සහිත නිවාස 29ක් සඳහා රුපියල් 8,700,000ක් ද (පළමු අදියර රු. 300,000 බැගින්), ඇස්තමේන්තු රහිත නිවාස 7ක් සඳහා රුපියල් 326,746.95ක් ද ලබා දී තිබේ.

• හානියට පත් කර්මාන්ත 49ක් වෙනුවෙන් රුපියල් 200,000 බැගින් රුපියල් 9,800,000 ක මුදලක් ප්‍රදානය කෙරිණි.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩි ම ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ කරුවලගස්වැව (58) සහ පුත්තලම (47) ප්‍රදේශවලිනි. මීට අමතරව මාදම්පේ (33), ආරච්චිකට්ටුව (35), ආණමඩුව (20), නවගත්තේගම (24) සහ හලාවත (41) යන ප්‍රදේශවල ආපදාවට පත් ජනතාව වෙත ද මෙම වන්දි චෙක්පත් පිරිනැමීම සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දෙන ලද්දේ රජය පසුගිය වසර තුළ මහජන බදු මුදල් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් මහා භාණ්ඩාගාරයේ රුපියල් කෝටි ලක්ෂයක් (ට්‍රිලියනයක්) ඉතිරි කර ගැනීමට සමත් වී ඇති බවත් අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති හෝ වැටුප් වැඩි කිරීම් නතර නොකර, එම ඉතිරි කළ මුදලින් රුපියල් කෝටි 50,000ක් ආපදා සහන සඳහා වෙන් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙන බවත් ය.
මෙහිදී එක් අයෙකුට ලබා දෙන ලක්ෂ 50ක මුදල මගින් ගමේ පෙදරේරුවන්, වඩුවන්, දර සපයන්නන් සහ හාඩ්වෙයාර් ව්‍යාපාරිකයන්ට ආදායම් මාර්ග උදාවන බැවින්, මෙමගින් මුළු ගමේම ආර්ථිකය ශක්තිමත් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජය ලබා දෙන මෙම මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කර, තම ශ්‍රමය ද දායක කරගෙන වඩාත් වටිනා නිවසක් ගොඩනගා ගැනීමට ප්‍රතිලාභීන්ට වගකීමක් ඇති බවත් ආපදාවෙන් බිඳ වැටුණු ව්‍යාපාරිකයන් සඳහා වන්දි ලබා දෙන අතර ම, ඔවුන්ට ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට අඩු පොලී ණය ලබා දීමේ වැඩසටහනක් ද සකස් කර ඇති බවත් සඳහන් කළේ ය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසී ය.

“අපි රාජ්‍ය සේවකයන්ට මේ වෙනකොට නිවසක් හදාගන්න ණයක් දෙනවා. රාජ්‍ය සේවකයන්ට තියන්නේ ණය. පළවෙනි ලක්ෂ 30ට රජයෙන් 4%ක් පොළිය ගෙවනවා. දෙවෙනි ලක්ෂ 20ට රජයෙන් 2%ක් පොළිය ගෙවනවා. ඒගොල්ලොන්ට දෙන්නේ ණයක්. ඉතුරු පොලි රාජ්‍ය සේවකයෝ අතින් ගෙවන්න ඕනේ. හැබැයි මේ ලක්ෂ 50 දෙන්නේ ණයක් හැටියට නෙමෙයි මුළුමනින්ම සහනයක් හැටියට, ප්‍රදානයක් හැටියට. ඒ අතර තියෙනවා කටුමැටි ගෙවල්. පොල්ලතු පැලලි වලින් වට කරලා හදාගත්ත පොඩි නිවාස. ලෑලි ගහලා තිබු නිවාස ටකරන් තහඩු ගහලා හදාගෙන තිබුණ නිවාසවලට අපි ලක්ෂ 50ක් දෙන්න තීරණය කරපුවහම සමහර අයගෙන් ආවා යෝජනාවක් ලක්ෂ 50 ක් ඕනි නෑ ඔය ගෙවල්වල වටිනාකම ලක්ෂ එකහාමාරක් විතර ඇති. ඒ ලක්ෂ එකහාමාරකින් ඒ තිබුණ විදිහට ගේ හදලා දෙමු කියල. හැබැයි රජයේ ඉලක්කය ඒක නෙවෙයි. තිබුණු ජීවිතයේ ම ආපහු දෙන්න නෙමෙයි රජයේ අරමුණ. තිබුණට වැඩිය ඉතා හොඳ නිවසක් එක්ක හොඳ සමාජ ජීවිතයක් ඒකෙන් ලැබෙනවා.

ආපත්තිය විපත්තියක් බවට පත් කරගන්න දෙන්නේ නැතුව ආපත්තිය සම්පත්තියක් බවට පත් කරලා දෙන වැඩසටහනක් තමයි අපි මේ ආරම්භ කළේ. ඕනි නම් ආපත්තියෙන් ලොකු හානියක් වුණා. ඉතින් මේ විපතට අපි මුහුණ දීගෙන යමු. හිටියටත් වැඩිය ජීවිතය පහළට වැටිලා ආපදාවෙන් විපතට පත්වෙලා ඉන්න පුළුවන්. හැබැයි රජයේ ඉලක්කය ඒක නෙමෙයි. ආපදාවෙන් විපතට පත් වුණයි කියලා දිගටම යන්න බැහැ. මේ ජන ජීවිතයේ නගා සිටුවීම සඳහා දැවැන්ත මැදිහත්වීමක් කරලා ඒගොල්ලන්ගේ ජීවිතයට සම්පත්තියක් ළඟා කරලා දීමේ මෙහෙමක් තමයි අපි මේ ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේක අවස්ථාවක්. මේ අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගමු. ’’

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සභාපතිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් මෙන්ම පුත්තලම දිස්ත්‍රික් ලේකම්, අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටිය හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here