පසුගිය වසරේ තරුණයන්ගේ මූලිකත්වයෙන් ඇති වූ විරෝධතාවලින් පසු නේපාලයේ පැවැත්වුණු පළමු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්, දේශපාලනඥයෙකු බවට පත් වූ රැප් ගායක බාලේන්ද්‍ර ෂා (Balendra Shah) එරට අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.
35 හැවිරිදි ඔහුගේ මෙම නැගී සිටීම නේපාල දේශපාලනයේ වැදගත් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
දූෂණය, නෑදෑ හිතමිතුරන්ට සැලකීම සහ ප්‍රභූ පාලනය කෙරෙහි දැඩි කලකිරීමෙන් සිටි ඡන්දදායකයන් අතර ඔහුගේ වෙනසක් සඳහා වූ පොරොන්දුව දැඩි ලෙස ව්‍යාප්ත වුණි.
බීබීසී පුවත් සේවය වාර්තා කරන පරිදි, සිය ධුරයේ වැඩ භාර ගැනීමට පෙර, “බාලෙන්” යන නාමයෙන් ජනප්‍රිය ෂා, නේපාලයේ අනාගතය පිළිබඳ සුබවාදී හැඟීම් ඇතුළත් ගීතයක් නිකුත් කර තිබේ.
“නොබෙදුණු නේපාල වැසියනි, මෙවර ඉතිහාසය නිර්මාණය වෙමින් පවතිනවා,” යනුවෙන් ඔහු එම ගීතය හරහා පවසන අතර, එය නිකුත් වී පැය කිහිපයක් ඇතුළත මිලියන දෙකකට අධික පිරිසක් නරඹා තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කත්මණ්ඩු අගනුවර නගරාධිපති ලෙස වසර තුනක් පමණක් කටයුතු කිරීමෙන් පසු, ෂා ‘රාස්ත්‍රිය ස්වාධීන පක්ෂය’ (Rastriya Swatantra Party – RSP) සමග එක්ව එහි අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අතර, මෙම මාසයේ පැවැති මහ මැතිවරණයෙන් තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

