පාර්ලිමේන්තුව මාර්තු 17 සිට 20 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ
ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු
2026.03.06 වැනිදා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ
ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී තීරණය
වී තිබේ.
ඒ අනුව 2026 මාර්තු 17 වැනි අඟහරුවාදා පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය
ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර
ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්
කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
සඳහා වෙන් කර තිබේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ
දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තයන්ගේ
පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීමට අතුරු යෝජනා සම්මතය විවාදයට
ගැනීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතය.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු
ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.

