ගාලු මුහුදට නාවික සැතපුම් 40ක් දුරින් අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ සිටි 180ක පිරිස බේරා ගැනේ.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසුවේ ඉන් තුවාල ලබා සිටි 30 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන මේ වනවිට කරාපිටිය රෝහල වෙත රැගෙන විත් ඇති බවය.
අදාළ නෞකාව ගිලෙමින් පවතින බවට අද උදෑසන 5.08ට පමණ නාවික හමුදාවට ලද පණිවුඩයක් අනුව බේරාගැනීමේ මෙහෙයුම් දියත් කළ බවද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර නෞකාව අනතුරට ලක්වූ ප්‍රදේශය සෝදිසි මෙහෙයුම් සඳහා ගුවන් හමුදා නිරික්ෂණ යානයක් පිටත් කර ඇත.
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන විත් තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ඔවුන්ව ගාල්ල, කරාපිටිය රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කෙරුණු බවයි.
අදාළ නෞකාව අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේදී නොවන නමුත් ජීවිත බේරාගැනීම වගකීමක් වන බැවින් මෙම මෙහෙයුම සිදුකළ බවත්, ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

