කොරියානු ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා

0
1

ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම හා විදේශ රැකියා මාර්ග පුළුල් කිරීම කෙරෙහි අවධානය
දකුණු කොරියාවේ නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, කොරියානු ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය වන යුයි-හේ සිසිලියා චුන්ග් (Eui-Hae Cecilia Chung) මහත්මිය සමඟ ඊයේ (25) සෝල් නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලදී.

සෝල්හි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් විවිධ කරුණු සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය ඇතුළුව, අඛණ්ඩ ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලියට සමගාමීව ආර්ථික සහයෝගීතාව ගැඹුරු කිරීම, විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීම, සංවර්ධන සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරිණි.

දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවට කොරියානු ජනරජය ලබාදුන් කාලෝචිත ආධාර පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළ අතර, ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ ජාතික මුලපිරීම් සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.

තවද, ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර වර්ධනය වෙමින් පවතින සමාජ හා සංස්කෘතික බැඳීම්, විශේෂයෙන් ශ්‍රී ලාංකික තරුණ පරපුර කොරියානු සංස්කෘතිය සමඟ ඇති සම්බන්ධතාව, දෙරට ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමට සාර්ථක ලෙස දායක වන බවද ඔහු අවධාරණය කළේය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 50ක් පිරීම ලබන වසරේ සැමරීමට නියමිත අතර, එම සන්ධිස්ථානය උචිත ලෙස සමාරම්භ කිරීම සඳහා ඉහළ මට්ටමේ සංචාර සහ ආයතනික සම්බන්ධතා ශක්තිමත් කිරීම ඇතුළුව කටයුතු කිරීමට දෙපාර්ශවයම එකඟ වූහ. මෙම සාකච්ඡා මඟින් ඉදිරි වසරවලදී ශ්‍රී ලංකා–කොරියානු ජනරජ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙරටේ හවුල් කැපවීම නැවත තහවුරු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here