ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද (04) පස්වරු 1ට මෙරටට වැඩම කරවනු ලැබීය.
ඉන්දියාවට අයත් විශේෂිත ගුවන්යානයකින් ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඩම කරවීම සිදු කෙරුණි.
ඒ අනුව මෙම ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත අද පස්වරුවේ වැඩම කරවීමට නියමිතය.
”ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආරම්භ වීමට නියමිත අතර සැදැහැවත් ජනතාවට සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට හෙට සිට ලබන 11 වැනිදා දක්වා දින හතක කාලයක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී අවස්ථාව හිමි වෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රදේශයේ ඓතිහාසික දෙව්නිමෝරි භූමියේදී 60 දශකයේදී සිදුකරන ලද කැණීම් වලින් සොයාගන්නා ලද බුදුරජාණන් වහන්සේගේ මෙම ශාරීරික ධාතූන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොතිබූ අතර, පසුගියදා සිදුවූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදා වී තිබේ.

