මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීන් සදහා ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ 11 වන බලඇණිය දිවයිනෙන් පිටත්ව යයි

0
46

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා 11 වන බලඇණිය ඊයේ (21) උදෑසන කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව ගියේය.

මෙම කණ්ඩායමේ අණ දෙන්නා ලෙස ගෲප් කැපිටන් ආසිරි පතිරගේ මහතා කටයුතු කරන අතර, ‍කාන්තා නිලධාරීන් දෙදෙනෙකු සහ ගුවන් කාන්තාවන් පස් දෙනෙකු ඇතුළුව ගුවන් හමුදා ‍සාමාජිකයින් 110 දෙනෙකුගෙන් සමන්විත විය.

මේ අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සාර්ථකව අවසන් කල 10 වන බලඇණියේ ගුවන් හමුදා සේවා පුද්ගලයින් 94 දෙනෙකු ද ඊයේ (21) දින දිවයිනට නැවත පැමිණෙන ලදි.

දිවයිනෙන් පිටව ගිය ගුවන් හමුදා භටයන්ට සුභ පැතුම් එක් කිරීමට හා නැවත පැමිණි කණ්ඩායම පිළිගැනීමට, ගුවන් හමුදා සැලසුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන්, සෙසු නිලයන් සහ ගුවන් හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.