“රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන 16 වනදා

0
10

“රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන ජනවාරි 16 වනදා පස්වරුවේ යාපනය, තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි. එහිදී විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාව පිළිබඳව එම පළාතේ ජනතාව දැනුවත් කෙරෙනු ඇත.

“රටම එකට” ජාතික මෙහෙයුමේ සමාරම්භක වැඩසටහන 2025 ඔක්තෝබර් 30 දා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර එහි දකුණු පළාත් වැඩසටහන 2025 නොවැම්බර් 20 දා තංගල්ලේදී පවත්වන ලදී.

විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන කාර්යයන් කිහිපයක් කෙරෙහි මූලික අවධානය යොමු කර ඇත.

පසුගිය ඔක්තෝබර් මස 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මෙම මෙහෙයමු යටතේ විෂ මත්ද්‍රව්‍ය වර්ග රැසකට අදාළව වැටලීම් 69,960ක් සිදු කර තිබේ.

එහිදී සැකකරුවන් 69,318ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් ගණන 1,446කි.

සැකකරුවන් 58 දෙනෙකු සම්බන්ධව මේ වන විට නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ.

මත්ද්‍රව්‍ය භාවිත කර අත්අඩංගුවට පත්ව මේ වන විට පුනරුත්ථාපනයට යොමු කළ පිරිස 1,384ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here