විදේශ මුදල් සහ ස්වර්ණාභරණ තොගයක් සොරා ගත් චීන ජාතිකයෙකු අත්අඩංගුවට.

0
18

NEWSNOW | – ඩුබායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක ගමන් ගත් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකුගේ රුපියල් දහතුන් ලක්ෂ දහහතර දහස් හාරසීයයක් වටිනා විදේශ මුදල් සහ ස්වර්ණාභරණ තොගයක් සොරා ගත් චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මහත් පරිශ්‍රමයක් දරා ඊයේ (13) දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ඇය ඊශ්‍රායලයේ ළමා සංවර්ධන උපදේශිකාවක ලෙස සේවය කරන්නියකි.

ඇය 01/13 දින උදෑසන 08.15 ට අබුඩාබි නුවර සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 579 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය විසින් රැගෙන ආ අත් බෑගය ගුවන් සේවිකාවකගේ ඉල්ලීම මත, ඇයගේ ආසනයට ඉහළින් ඇති ගමන් මලු රාක්කයෙහි තබා තිබේ .

ඇය ගුවන් යානයෙන් පිටතට පැමිණ ගුවන් තොටුපොළ කුළී රථයක් ලබා ගැනීම සදහා මුදල් ගෙවීමට සූදානම් වන අවස්ථාවේ තම අත් බෑගය තුළ වූ ඇමෙරිකානු ඩොලර් 3,660 ක් , යුරෝ 500 ක් සහ ඇයගේ ස්වර්ණාභරණ තොගය ද නොමැති බව වටහා ගෙන තිබේ .

ඒ අනුව ඇය වහා කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණිළි කළ අතර, පොලීසිය ඇයද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර , ඇය අසළ ගැවසෙන සැක කටයුතු චීන ජාතිකයෙකු හදුනා ගෙන තිබේ.

පසුව ඔහු පිළිබද වැඩිදුර විස්තර අනාවරණය කර ගත් පොලීසිය, ඒ වනවිටත් ගුවන් තොටුපොළෙන් පළා ගොස් කිඹුලපිටිය ප්‍රදේශයේ චීන ජාතික කාන්තාවක විසින් පවත්වා ගෙන යමින් සිටින නේවාසිකාගාරයක සැගවී සිටියදී , අත් අඩංගුවට ගෙන තිබේ.

එහිදී 25 හැවිරිදි මෙම චීන ජාතිකයා හිස තබා ගෙන නිදාගෙන සිටි කොට්ටයෙහි කවරය තුළ මෙම විදේශ මුදල් සියල්ල සහ ස්වර්ණාභරණ තොගය සගවා ගෙන සිටියදී පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබුණි .

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ජීවරත්න , උප පොලිස් පරීක්ෂක චන්දන , පොලිස් සැරයන් 38226 දසනායක සහ පොලිස් කොස්තාපල් 28167 මධුසංඛ යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති.

මෙසේ අත් අඩංගුවට ගත් චීන ජාතිකයා අද (14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

(ටී.කේ.ජී. කපිල)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here