NEWSNOW | – දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33කට මේ වනවිට නිකුත් කර තිබූ නායයෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.
පසුගිය දින කිහිපය තුළ බදුල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වර්ෂාවක් ලැබී තිබේ. මේ හේතුවෙන් මෙම නායයෑම් රතු නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.
ඊයේ (11) දිනය තුළ මීගහකිවුල, දෙමෝදර යන ප්‍රදේශවල නායයෑම් සිදුවීම් වාර්තා වන බැවින් ඒ පිළිබඳව ජනතාව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.
යම් ආකාරයක අනතුරුදායක තත්ත්වයක් අදාළ භූමියන්ගේ පවතින බැවින් කාලගුණ අනාවැකි සැලකිල්ලට ගෙන අදියර 2 යටතේ අවදානයෙන් සිටින ලෙස දන්වා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමද දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 38කට එලෙසින්ම ක්‍රියාත්මක වේ.
මීට අමතරව අදියර 1 යටතේ විමසිලිමත් වෙන ලෙස දන්වා නිකුත් කළ නායයෑම් නිවේදනය දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට තවදුරටත් ක්‍රියාත්මක වන බව ද ආචාර්ය වසන්ත සේනාධීර මහතා කියා සිටියේය.
ලැබෙන වර්ෂාපතනය සමඟ මෙම නිවේදන වෙනස් විය හැකි බැවින් අදාළ ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බව ද ඒ මහතා පැවසීය.

